මට පුළුවන්නම් 250 ක්‌ හරි ගහනවා

පළමු පෙළ ක්‍රිකට්‌ දිවියේ පළමු ශතකය ලැබූ පල්ලකැලේ ක්‍රිකට්‌ ක්‍රීඩාංගණයේදීම ජාත්‍යන්තර පළමු ටෙස්‌ට්‌ ශතකය ලැබීමට හැකි වීම තමා ලැබු භාග්‍යයක්‌ කොට සලකන බව කුසල් මෙන්ඩිස්‌ පවසයි.

"මම පළමුපෙළ ශතකය ලැබු ක්‍රීඩාංගණයේදීම ජාත්‍යන්තර ටෙස්‌ට්‌ ශතකයක්‌ ලැබීමට ලොකු භාග්‍යයක්‌." යෑයි මෙන්ඩිස්‌ පවසයි.

ලොව අංක එකේ ටෙස්‌ට්‌ පිල පරාජය කර දැමීම සඳහා පීඩනය පිට දිගු ඉනිමක්‌ ක්‍රීඩා කිරීමට හැකිවුයේ එන විදිහට මුහුණ දුන් බවද 21 හැවිරිදි කුසල් මෙන්ඩිස්‌ පවසයි.

"ඇත්තටම මම ලොකු පීඩනයක්‌ ගන්නෙ නැතිව එන විදිහට මුහුණ දුන්නා. ඇන්ජලෝ අයිය ඇතුළු පුහුණුකරුවනුත් කිව්වේ පුලුවන් තරම් කඩුල්ලේ රැදී ඉන්න එතකොට රස්‌නෙත් එක්‌ක ඔස්‌ටේ්‍රලියාවේ පන්දු යවන්නන්ට අමාරුවක්‌ දැනේවි කියලා. ඒ නිසා මම මුලින්ම ගිහිල්ල බැලුවේ තණතිල්ලෙ කොහොමද ලකුණු ගන්න ඕන කියන එකයි. ඒ වුණත් ලකුණු හොයා ගියේ එන බෝලයට ගැහුව්වා. ශතකය ලබා ගන්න හයක්‌ ගැහුව්වෙත් ඒ බෝලෙ මගේ පහරට ආපු නිසා." යෑයි මෙන්ඩිස්‌ සඳහන් කර සිටියි.

ජයග්‍රහණය වෙනුවෙන් කොතරම් ලකුණු සංඛ්‍යාවක්‌ ලබා ගත යුත්තේද යන්න විමසන ලදුව, "ලකුණු 250 ක්‌ හෝ 300 ක්‌ හෝ පුළුවන් තරම් ගාණක්‌ අපි ඉස්‌සරහින් ඉන්න ඕන. මට පුලුවන්නම් 250 ක්‌ ගහන්න ඒකත් කණ්‌ඩායම වෙනුවෙන් ලබාදෙන්න බලාපොරොත්තු වෙනවා. මම කළේ කණ්‌ඩායමට අවශ්‍ය දේ. ලකුණු අතරට පැමිණ සිටින වෙලාවකට ඒක දිගටම අරගෙන යන්න තමයි මම බලාපොරොත්තු වෙන්නෙ." යනුවෙන් පැවසීය.

ඔස්‌ටේ්‍රලියානු පන්දු යවන්නන් ඉතාමත් හොඳින් පන්දු යවන බවත් කණ්‌ඩායමේ සියලුම ක්‍රීඩකයන් තමාගේ අඩුපාඩු පෙන්වා දෙන බවත් පවසන කුසල් මෙන්ඩිස්‌ සාමාන්‍යයෙන් පන්දුවට රිදෙන්නට පහර දීමට උත්සහ කරන බවත් පවසයි.