බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ගැලවෙයි

යුරෝපා සංගමයේ සාමාජිකත්වයෙන් ඉවත්වීමට බ්‍රිතාන්‍ය ජනතාව තීරණය කර තිබේ.

ඒ සම්බන්ධ ජනමත විචාරණයේ ප්‍රතිඵල අනුව යුරෝපා සංගමයෙන් ඉවත්විම සඳහා ලබාගත යුතු ඡන්ද මිලියන 16.8 සම්පුර්ණ කිරීමට මීට සුළු වේලාවකට පෙර සමත් වුණි.

ඒ අනුව යුරෝපා සංගමයෙන් ඉවත්විය යුතු බවට ඡන්ද එක්කෝටි හැටනව ලක්ෂ 92,701ක් ලැබී ඇති අතර තවදුරටත් එම සංගමය සමග රැදී සිටිය යුතු බවට එක්කෝට් පනස් අට ලක්ෂ 12,943ක් ඡන්දය ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව ඉවත්විය යුතු බවට ඡන්ද සියයට 52ක් ද තවදුරටත් රැදී සිටිය යුතු බවට ඡන්ද සියයට 48ක් ද ලැබී ඇති බව වාර්තා වෙයි.

තවත් ඡන්ද කොට්ඨාස 05ක ප්‍රතිඵල නිකුත් කිරීමට නියමිතව තිබේ.

මේ අතර බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්වීමට තීරණය කිරීමත් සමග අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව පවුම් මුදල් ඒකකය වසර 31කට පසුව පහළම අගයක් වාර්තා කර තිබේ.

ජනමත විචාරණයට පසු සියයට 10කින් පමණ පවුමේ අගය පහත වැටී ඇති බව වාර්තා වෙයි.

මේ අතර ජනමත විචාරණයේ ප්‍රතිඵලයත් සමග ජපානය ඇතුළු ආසියානු රටවල් කිහිපයක දෛනික කොටස් ගනුදෙණු පහත බැස තිබේ.

බ්‍රිතාන්‍යයේ තීරණය සම්බන්ධයෙන් අදහස් දක්වන ලෝක නායකයින් සිය මතයන් ඉදිරිපත් කරන අතර ඔවුන්ගෙන් වැඩි පිරිසක් පෙන්වා දෙන්නේ එම තීරණය යුරෝපයට නරක දිනයක් බවයි.

එමෙන්ම එංගලන්තය, උතුරු අයර්ලන්තය, ස්කොට්ලන්තය සහ වෙල්සය තුළ ඡන්ද විමසීම පැවැති අතර
ඡන්දය ප්‍රකාශය කිරීම සඳහා හාරකෝටි හැටපන්ලක්ෂයක් පමණ සුදුසුකම් ලබා තිබුණි.

ඒ අතර බ්‍රිතාන්‍ය විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරුන් පමණක් නොව අගමැතිවරයා අයත් ‘කන්සවේටිව්’ පක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් ද යෝජනා කර තිබුණේ බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් විය යුතු බවටය.

යුරෝපා සංගමය සැලකෙනුයේ ලොව විශාලතම වෙළඳපළ හසුරුවන රියදුරු අසුන ලෙසය.

එම සංගමය තුළ තවදුරටත් සිටීමෙන් සිය ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමට ක්‍රියාමාර්ග ගත හැකි මෙන්ම ඉන් ඉවත් වුවහොත් විවෘත දේශ සීමා, අනවශ්‍ය ණය දීම් සහ ‘යුරෝ’ නමැති මුදල් ඒකකය භාවිතයෙන් ඉවත්වීමට හැකි බව අගමැති ඩේවිඩ් කැමරන් පවසයි.

යුරෝපා සංගමයෙන් ඉවත් විය යුතුය යනුවෙන් යෝජනා කරන පිරිස් ඒ සඳහා ඉදිරිපත් කරන හේතු කිහිපයක්ද වේ.

ඒ අතර පවුම් බිලියන ගණනක් සාමාජික මුදල් ලෙස ගෙවා රඳවාගෙන සිටින යුරෝපා සංගම් සාමාජිකත්වයෙන් ලැබෙන ප්‍රතිලාභය ප්‍රමාණවත් නැති බව මෙන්ම බ්‍රිතාන්‍යයේ දේශ සීමා රැක ගැනීම ප්‍රධාන කරුණු ලෙස සැලකේ.

තවද යුරෝපා සංගමයේ සාමාජිකත්වය ඇති රටක කෙනෙකුට තවත් සාමාජික රටකට නිදහසේ ගොස් පදිංචි වීමට ඇති හැකියාව හේතුවෙන් බ්‍රිතාන්‍යයට ඇති බලපෑම ද ඔවුන් සැලකිල්ලට ගෙන තිබේ.

ඒ සමගම යුරෝපා සංගමය සමග සමීප සම්බන්ධතා පැවැත්වීම හේතුවෙන් අනාගතයේ දී ‘යුරෝපා එක්සත් ජනපදයක්’ බිහි වීමේ හැකියාවක් ඇති බව ඔවුන් පෙන්වාදී තිබේ.

එසේම බ්‍රිතාන්‍යය යුරෝපා සංගමය තුළ රැඳී සිටිය යුතුයැයි පවසන පිරිසගේ ප්‍රධාන තර්කය වී ඇත්තේ රටට ලැබෙන ආර්ථික වාසියයි.

ඔවුන් පවසන්නේ බ්‍රිතාන්‍යය තුළට එන යුරෝපා සංක්‍රමණිකයන් බොහෝ දුරට තරුණ ශ්‍රම බලකායක් බැවින් ආර්ථික වර්ධනයක් ඇතිවී මහජන සේවාවන් සඳහා යෙදවිය හැකි විශාල මුදලක් රට තුළ ඉතිරිවන බවයි.

අදාළ කරුණු සලකා බලා මේ වසරේ මුලදී බ්‍රිතාන්‍ය තවදුරටත් යුරෝපා සංගමය තුළ සිටිය යුතු ද නැතිද යන්න තීරණය කිරීමට ජූනී මස (23) දා ජනමත විචාරණයක් පැවැත්වීමට බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් තීරණය කළේය.