එම්.ජී.ට වෙඩි තියයි

M G Dhanushaka Shooting issue-nugegoda
පසුගියදා නුගේගොඩ ප‍්‍රදේශයේ පැවති සංගීත සන්දර්ශනයකදී ඇතිවූ වෙඩි තැබීමේ සිද්ධියක් සම්බන්ධ පරීක්ෂණය ඊයේ ගංගොඩවිල අධිකරණයේදී විභාගයට ගැනුණා.
දෙරණ ඞී‍්‍රම්ස්ටාර් ගායක එම්.ජී. ධනුෂ්ක සහභාගීවූ බව කියන මෙම සන්දර්ශනය අතරතුර ධනුෂ්ක ගීත ගයන අතර වේදිකාවට නැගගත් රසිකයන් හතර දෙනෙකු ඔහුට එම් එස් ප‍්‍රනාන්දුගේ ගීත ගායනා කරන ලෙස ඇවිටිලි කර තිබෙනවා.

මින් ඉහත එම් එස් ප‍්‍රනාන්දුගේ ගීත ගායනය කිරීම නිසා නඩු වැටී අකරතැබ්බයකටද පත්ව සිටි ධනුෂ්ක එම ඉල්ලීම ඉටුකරන්නට බැරි බව රසිකයන්ට දන්වා ඇත්තේ තමා නැවත එම ගැටලූවට මැදිහත්වීමට තිබුණ අකමැත්ත නිසාය.

කෙසේ වෙතත් ඔහුගේ එම ප‍්‍රතික්ෂේපය ගැන රසිකයින් හතර දෙනා උරණ වී කෝලාහල කර තිබෙනවා.

මෙම අවස්ථාවේ සන්දර්ශන සංවිධායකයන්ද මැදිහත්වී කරුණු පැහැදිලි කරන්නට උත්සාහ කළත් එය අපහසු තත්වයට පත්ව ඇත. කිසියම් මැර බලයක් සහිත පුද්ගලයන් වූ ඔවුන් එතැන අවුල් ජාලයක් කර තිබෙන අතර අවසානයේ සංගීත සන්දර්ශනය නතර කරදමන්නටද මේ නිසා සංවිධායකයන්ට සිදුව ඇත.

කෙසේ වෙතත් ඉන් ටික වේලාවකට පසු මෙම පුද්ගලයින් මෝටර් රථයකින් නැවත එම ස්ථානයට පැමිණ ඇත්තේ ගිනි අවිද රැගෙනයි. ඇතිවූ සිද්ධිය මතක් කර නැවත පිරිසට බැණ වැදුනු ඔවුන් තර්ජනය කරන අතරතුර ගිනි අවි වලින් අහසට වෙඩි තබා බියවද්දා එතැනින් පිටත්ව ගොස් ඇත.

මෙම තර්ජනාත්මක ක‍්‍රියාව සිදු කළ අය අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා සන්දර්ශන සංවිධායක ආර්.එන්. ලසන්ත ඉන්දික අධිකරණයෙන් ඉල්ලා සිටි අතර මේ ගැන වැඩිදුර විභාග කරන්නට මහේස්ත‍්‍රාත්වරයා පොලිසියට උපදෙස් දුන්නේය.