රජිනිකාන්ත්ට ලංකාවට එන්න ආරාධනා

ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය නංවාලීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස දකුණු ඉන්දියාවේ ලෝක ප්‍රකට නළුවෙකු වන ‘සුපර් ස්ටාර්’ රජිනිකාන්ත්ට ශ්‍රී ලංකාව ආරාධනා කර තිබේ. ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් ඩී. වෙන්කේෂ්වරන් මහතා රජිනිකාන්ත් මහතාගේ නිවසට ගොස් මෙම ආරාධනාව කර තිබේ. ශ්‍රී ලංකාවට පමණක් සීමා වූ 'රාමායණ මංපෙත' සහ ශ්‍රී ලංකාවේ අනෙකුත් සුවිශේෂී බෞද්ධ ස්ථාන ගවේෂණය කරන ලෙස නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා රජිනිකාන්ත් වෙත ආරාධනා කළේය.

රුපියල තවත් ශක්තිමත් වෙයි


ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල තවදුරටත් ශක්තිමත් වූ බව ශ්‍රී ලංකා මහ බැංකුව අද (29) නිකුත් කළ විනිමය අනුපාත සටහනේ දැක්විණ. ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල අද දිනයේදී රුපියල් 303.26ක් වූ අතර ගැනුම් මිල සටහන් වූයේ රුපියල් 289.89ක් ලෙසය. මීට මාස කිහිපයකට උඩදී ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 380ත් 390ත් අතර පරාසයක පැවතිණ.

සද්ධා රතන හිමි රිමාන්ඩ්


ආගමික සහජීවනයට බාධා වන ආකාරයෙන් ප්‍රකාශ කළැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් රාජාංගනයේ සද්ධාරත්න හිමි ලබන 07 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (29) නියෝග කළේය. පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියන් විසින් කරනු ලැබූ පැමිණීල්ලකට අනුව අද (29) අනුරාධපුරයේදී අත්අඩංගුවට ගත් සැකකාර හිමිනම අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවේ පරිගණක වෝහාරික විද්‍යාගාර අංශයෙන් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් විණී.

තුර්කි භූ කම්පනය: මිය ගිය ගණන 37,000 ඉක්මවයි


තුර්කියේ සහ සිරියාවේ ඇති වූ භූමිකම්පාවලින් මිය ගිය සංඛ්‍යාව 37,000 ඉක්මවා ගොස් තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, තුර්කියේ පුද්ගලයින් 31,974 දෙනෙකු මිය ගොස් ඇති බව එරට බලධාරීන් ප්‍රකාශ කර ඇති බව ය. සිරියාවේ පුද්ගලයින් 5,800කට අධික සංඛ්‍යාවක් මිය ගොස් ඇත. මේ වන විට තුර්කියේ සුන්බුන් අතර සිර වී සිටි 8,000කට වැඩි පිරිසක් මුදා ගැනීමට ගලවා ගැනීමේ කණ්ඩායම් සමත් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. මේ අතර, භූ කම්පනයෙන් පසු ආධාර ලබා දීමට ඉදිරිපත් වූ සියලු රටවල් වෙත සිය කෘතඥතාව පළ කරන බව තුර්කි ජනාධිපතිවරයා පවසා ඇත.

ප්‍රභාකරන් තාමත් ඉන්නවා

ප්‍රභාකරන් තවමත් ජීවත්ව සිටින බවත්, සුදුසු අවස්ථාවේ යළිත් මහජනයා වෙත පැමිණෙන බවත් තමිල්නාඩු දෙමළ ජාතික ව්‍යාපාරයේ නායක පී. නැදුමාරන් ප්‍රකාශ කර ඇත.

ඔහු මේ කරුණ ප්‍රකාශ කර ඇත්තේ ඊයේ (13 දා) තමිල්නාඩුවේ තහ්ජමුර්හිදී පුවත්පත් සාකච්ඡාවක් පවත්වමිනි.