ජනපතිගේ ප්‍රකාශය ගැන ජවිපෙන් විශේෂ නිවේදනයක්

සී.අයි.ඩී.ය, එෆ්.සී.අයි.ඩී. ය හා අල්ලස් කොමිසම දේශපාලන න්‍යායපත‍්‍රවලට අනුව කටයුතු කරන බවට සැක පළකරමින් කර තිබෙන ජනාධිපතිවරයාගේ ප‍්‍රකාශය ඉතා බරපතළ එකක් බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

එම පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ ජනාධිපතිවරයා පෙන්වා දුන් ආයතන හසුරුවන්නේ කාගේ හෝ දේශපාලන න්‍යාය පත‍්‍රයකට නම් ඒ කාගේදැයි ජනාධිපතිවරයා රටට පැහැදිලි කළ යුතු බවයි.

දුමින්දට පෙණහළු ආසාදනයක්

මරණ දඩුවමට ලක්ව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා, මතකය අඩුවීම සහ පෙණහළු ආසාදන තත්ත්වයන්ගෙන් පීඩා විඳින බව බන්ධනාගාර ආරංචිමාර්ග පවසයි.

මීට සතියකට පෙර වෛද්‍යවරුන්ගේ නිර්දේශය මත ඔහුව රෝහල්ගත කර තිබිණ. ඒ බරපතල උණ රෝගයක් හේතුවෙනි.

ප්‍රභාකරන්ගේ ‍පෝස්ටර් ඇලවූ කතක් අත්අඩංගුවට

කොටි නායක වේළුපිල්‍ලේ ප්‍රභාකරන්ගේ රුව ඇතුළත් ‍පෝස්ටර් සහ මහවිරු දිනය ඇතුළු ඊළාම් සිහිවටන දිනයන් සඳහන් ‍පෝස්ටර් අලවමින් සිටි කාන්තාවක යාපනය චුන්නාකම් ‍පොලිසිය මගින් ඊයේ (11) වැනිදා රාත්‍රියේ අත්අඩංගුවට ගෙන ඇත.

මෙම කාන්තාව පසුව ත්‍රස්ත විමර්ශන ඒකකයේ භාරයට ගෙන ඇති අතර ප්‍රශ්න කිරීම් සදහා කොළඹට රැගෙන විත් තිබේ.

සියලු උපාධිධාරීන්ට රැකියා

විශ්වවිද්‍යාලවලින් පිටවන උපාධිධාරීන්ට රැකියා හිමිවිය යුතු බවත් ඔවුන් උපාධිය ගෙන රැකියා නොමැතිව නිවසේ සිටිනා කාලය මාස හයකට සීමා විය යුතු බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අදාළ අංශ වෙත උපදෙස් ලබා දී ඇත.

ඒ අනුව රජයේ රැකියාවල පවතින පුරප්පාඩු සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි විශ්වවිද්‍යාලයෙන් පිටවූ උපාධිධාරීන් බඳවා ගන්නා ලෙසද අග්‍රාමාත්‍යවරයා උපදෙස් ලබා දී තිබේ.

පොලිස් කාන්තාවන්ට ‍පොලීසියෙන්ම ලිංගික හිරිහැර

පොලිස් කාන්තා නිලධාරීන්ට ‍පොලීසියේම නිලධාරීන්ගෙන් ලිංගික හිරිහැර සිදුවන බවට ජාතික ‍පොලිස් කොමිසමට පැමිණිලි රාශියක්ම ලැබි ඇත.

ඒ බව අනාවරණය වන්නේ ජාතික ‍පොලිස් කොමිසමේදී ඊයේ (12) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය. ජාතික ‍පොලිස් කොමිසමේ සභාපති මහාචාර්ය සිරී හෙට්ටිගේ මහතාගේ ප්‍රධානත්වයෙන් එය පැවැත්විණි.