27603 කට සරසවි වරම්

නව අධ්‍යයන වර්ෂය සඳහා (2015/2016) විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කිරීමේ අවම ඉසෙඩ් ලකුණු විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් ඊයේ (20 වැනිදා) නිකුත් කරන ලදී.

මෙතෙක්‌ ඒ ඒ දිස්‌ත්‍රික්‌කයන්ගෙන් අදාළ පාඨමාලාවට ඇතුළත් වීමේ දිස්‌ත්‍රික්‌ ඉසෙඩ් ලකුණු නිකුත් කළද මෙවර ඒ ඒ දිස්‌ත්‍රික්‌කයන්ගෙන් අදාළ පාඨමාලාව පවතින විශ්වවිද්‍යාලයේ එම පාඨමාලාවට ඇතුළත් වීම සඳහා අවශ්‍ය ඉසඩ් ලකුණු නිකුත් කර තිබීම විශේෂත්වයකි. මෙම නව ක්‍රමය අනුව තමන් තේරී පත්ව ඇති විශ්වවිද්‍යාලය පහසුවෙන් දැන ගත හැකි වේ.

හිරුණිකා අද අධිකරණට

දෙමටගොඩ දී තරුණයකු පැහැරගෙන යෑම ඇතුළු අධිචෝදනා 24ක් යටතේ නීතිපතිවරයා පවරා ඇති නඩුවට පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු විත්තිකරුවෝ 09ක් අධිකරණය නිකුත් කළ සිතාසි මත ප්‍රථම වරට අද (21) කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටිති.

විත්තිකරුවනට එරෙහිව නඟා ඇති අධිචෝදනා ඔප්පු කිරීම සඳහා කුඩා දැරියක ඇතුළු සාක්කිකරුවන් 33ක්ද සී. සී. ටී. වී. කැමරා දර්ශන ඇතුළු ලේඛන 05ක්ද ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව නීතිපතිවරයා කොළඹ මහාධිකරණය වෙත දන්වා ඇත.

සජින්ට කෝටි 4ක ශරීර ඇප

මිහින් ලංකා සමාගමට බිම් මෙහෙයුම් උපකරණ ගෙන්වීමට ටී.පී.එල්. ඉන්ටර් පෞද්ගලික සමාගමට ලබාදීමෙන් අයුතු සහගත ලාභයක් ලබාගත් බව කියන අල්ලස් චෝදනාව සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා රුපියල් 2,50,000ක මුදල් හා කෝටි 4ක ශරීර ඇපයක් මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ඊයේ (20) නියම කළේය.

අධිකරණ නොතීසි මත පෙනී සිටි සජින් වාස් ගුණවර්ධන මහතාගේ විදේශ ගමන් තහනම් කරමින් ඒ සම්බන්ධව ආගමන විගමන පාලකට දැනුම් දෙන ලෙසටද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

පැරාලිම්පික් සූරයාට ලක්ෂ 25ක්

බ්‍රසීලයේ රියෝද ජැනයිරෝහී නිමාව දුටු පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේදී ලෝකඩ පදක්කම දිනාගත් දිනේෂ් ප්‍රියන්ත හේරත්ට රුපියල් ලක්ෂ 25ක් හා ඔහුගේ පුහුණුකරු රෝහිත බණ්ඩාර මහතාට රුපියල් ලක්ෂ 6ක් පිරිනැමෙයි.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ තරු පහේ හෝටලයකදී අද රාත්‍රියේ පැවැත්වෙන විශේෂ උපහාර උළෙලකදී මෙම මුදල් පරිත්‍යාග සිදු කෙරෙයි. ක්‍රීඩා අමාත්‍යාංශයෙන් ක්‍රීඩකයාට රුපියල් ලක්ෂ 15ක් හා පුහුණුකරුට රුපියල් ලක්ෂ 3.5ක්, පැරා ක්‍රීඩාවට අනුග්‍රහය දක්වන ඩයලොග් ආයතනයෙන් ක්‍රීඩකයාට රුපියල් ලක්ෂ 10ක් හා පුහුණුකරුට රුපියල් ලක්ෂ 2.5ක් පිරිනැමීමට කටයුතු යොදා තිබේ.

භාරත ඝාතනයේ තිදෙනකුගෙන් අභියාචනා

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිවු දෙනකු ඝාතනය කිරීම සම්බන්ධව මරණීය දණ්ඩනය නියම වූ චූදිතයෝ තිදෙනෙක් තමන් සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කිරීම සඳහා කොළඹ මහාධිකරණ රෙජිස්ට්‍රාර්වරයා හමුවේ ඊයේ (20) අභියාචනා ගොනු කළහ.

පොලිස් කොස්තාපල්වරයකුව සිටි අනුර තුෂාර ද මෙල්, චමින්ද රවී ජයනාත් නොහොත් දෙමටගොඩ චමින්ද හා හිටපු යුද හමුදා සෙබළකු වන සරත් බණ්ඩාර යන චූදිතයන් සිය නීතිඥවරුන් මගින් මෙම අභියාචනා ගොනු කර තිබුණි.