තිලාන්ට බංග්ලාදේශයෙන් තනතුරක්

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයකු වන තිලාන් සමරවීර බංග්ලාදේශ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ උප‍දේශකවරයකු ලෙස පත් කර තිබේ. ඉදිරියේදී එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම බංග්ලාදේශයේ සංචාරය කිරීමට නියමිත අතර එම තරගාවලියේදී තිලාන් සමරවීර උපදේශකයකු ලෙස කටයුතු කරනු ඇත.

 ඔහු මේ තරගාවලිය සඳහා කණ්ඩායමට එක්කර ගත්තත් ඉදිරියේදී ඔහුගේ සේවය අඛණ්ඩව ලබාගැනීම පිළිබඳ සලකා බලන බව බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය පවසයි. ශ්‍රී ලංකා සංචාරයක නිතර ඔස්ට්‍රේලියානු කණ්ඩායමද සංචාරයට පෙර තිලාන් සමරවීරගේ සේවය ලබාගෙන තිබුණි. ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 81කට හා එක්දින තරග 53කට ක්‍රීඩා කර ඇති තිලාන් ටෙස්ට් ශතක 14ක් හා එක්දින ශතක දෙකකට හිමිකම් කියයි.

ජනපති ජන්ම දිනය අද

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ හැටපස් වැනි ජන්ම දිනය අද (3) යෙදී තිබේ.

ආගමික වැඩසටහන්වලට මුල් තැන දෙමින් ජන්ම දිනය සමරන ජනාධිපතිවරයා ප්‍රජා සත්කාරක වැඩසටහන්වලටද අද එක් වෙයි. ජනපති ජන්ම දිනය නිමිත්තෙන් පසුගිය 29 වැනිදා සිට ප්‍රජා සත්කාරක සේවා ආරම්භ කළ අතර ඒ යටතේ දිවයින පුරා පිහිටි රෝහල් 19කදී වෛද්‍ය සායන පැවැත්වීමට කටයුතු යොදා තිබුණි.

ලොව වයස්ගතම පුද්ගලයා හමුවෙයි – අවුරුදු 146යි

ලොව වයස්ගතම පුද්ගලයා ඉන්දුනීසියාවෙන් හමුවී තිබෙනවා.නමින් Sidomejo මොහු උපත ලබා ඇත්තේ 1870 වසරේ දෙසැම්බර් මස 31 වනදා වන අතර මේ වන විට ඔහුගේ වයස අවුරුදු 146ක්.

මොහුගේ හැඳුනුම්පත ව්‍යාජ එකක් බව සිතුවත් එය ව්‍යාජ එකක් නොවන බවට එරට නිළධාරීන් සනාථ කොට තිබෙනවා.සරල බවත් කිසිදු දෙයක් වැඩිපුර නොසිතීමත් ඔහුගේ දිර්ඝ ආයු වැළඳීමේ රහස බවයි ඔහු කියා ඇත්තේ.

වීරවංශලාගේ රථගාය බී වාර්තාවෙන් හෙළිවේ

මහින්ද රාජපක්ෂ පාලනය තුල වාහන අවභාවිතය සම්බන්ධයෙන් චෝදනා එල්ලවුවන් බොහෝ පිරිසක් ඇති අතර ඒ අතර වීරවංශලා ප්‍රමුඛස්ථානයක් ගනී. පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බණ්දනාගාර ගතකරන ලද සරත් වීරවංශ සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් වූ බී වාර්තාවෙන් මේ පිළිබද කරුණු රැසක් අනාවරණය වේ.

ජනපති වෙබ් අඩවිය හැක් කළ අයට ඇප

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ වෙබ් අඩවිය හැක් කළ පාසල් සිසුවාට හා අනෙක් තරුණයාට ඇප ලබාදීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නියම කළේය.පාසල් සිසුවා ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මතද අනෙක් තරුණයා ලක්ෂ 10 ශරීර ඇප හතරක් හා රුපියල් 25000ක මුදල් ඇපයක් මතද නිදහස් කරනු ලැබීය.

නඩුව නැවතත් නොවැම්බර් 04 දා විවාදයට ගැනීමට නියමිතය. අදාළ ළමයින්ගේ දෙමාපියන් කැඳවූ මහෙස්ත්‍රාත්වරයා පැවැසුවේ ළමුන් පරිගණක අධ්‍යාපනයට යොමුවීම හොඳ බවත් නමුත් ඔවුන් පරිගණක භාවිතයෙන් කරන වැඩ පිළිබඳව අවධානයෙන් සිටින ලෙසත්ය.