ICC මහගෙදර කොළඹට?

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ මූලස්ථානය තවත් වසර 02 කින් පසු කොළඹ නගරයට ලබාගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ වනවිට සාකච්ඡා පවත්වමින් තිබේ. විශේෂයෙන් 2019 වසර වනවිට ඩුබායි නගරය තුළ බදු සහන නොලැබෙන තත්ත්වයක් මත ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ මූලස්ථානය වෙනත් රටක ස්ථාපිත කිරීමට අයි.සී.සීය තීරණය කර ඇතැයි වාර්තා වේ.

කෙසේ වෙතත් ආසියානු ක්‍රිකට් මූලස්ථානය ස්ථාපිත කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ගබඩා කාමරය ඉවත්කර (පාටිෂන් කර) එහි පරිපාලන කටයුතු සඳහා එම ස්ථානය ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. මේ වනවිට ආසියානු ක්‍රිකට් මූලස්ථානයට අවශ්‍ය ගොඩනැගිලි පහසුකම් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තුළම ස්ථාපනය කර ඇති අතර, ඊට අවශ්‍ය ගෘහ භාණ්ඩ හා අනෙකුත් පහසුකම් මුදල් අමාත්‍යාංශය හා සාකච්ඡා කර ඒ සඳහා බදු පහසුකම් ලබාගෙන ස්ථාපිත කිරීමට යෝජනා වී තිබේ.

පිරිතට වැඩි හිමි දෙනමක් ගුටි ඇනගෙන රෝහලේ..!

පිළියන්දල, හෝකන්දර ප්‍රදේශයේ සති පිරිත් දේශනාවකට වැඩම කර සිටියදී හිමිනමක් පහර දුන්නා යැයි පවසා කුරුණෑගල ප්‍රදේශයේ හිමිනමක් කෑගල්ල මහ රෝහලට වැඩම කර ප්‍රතිකාර ලබමින් සිටින බව පොලිසිය කියයි.

මෙලෙස කෑගල්ල මහ රෝහලේ භික්ෂු වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් වැඩසිටින්නේ කුරුණෑගල ප්‍රදේශයේ විහාරස්ථානයක 55 හැවිරිදි හිමි නමක් බව පොලිසිය කියයි.

පාගමනේ ගිය ෆේස්බුක් ඇඩ්මින් ගුටි කාලා!

ජන සටන පාද යාත්‍රාව අතරතුරදී ඔවුන්ගේ ප්‍රධාන ෆේස්බුක් පිටුවේ ඇඩ්මින්වරයෙකු වන නුවන් නිරෝධ අල්විස්ට පහරදීමක් සිදුව ඇති බව ඔහු සිය ෆේස්බුක් පිටුවේ සඳහන් කර තිබෙනවා.

පාද යාත්‍රාවේ සිව් වැනි දිනයේ තමන්ට මෙම අමිහිරි අත්දැකීමට මුහුණ දීමට සිදුවූ බවයි එහි සඳහන් වන්නේ.

අලියා මහ පාර මැද වැටී මිය යයි

අම්බලන්ගොඩ,කන්දෙගොඩ දුම්රිය ස්ථානය පිටුපස කුරුදුවත්ත පාරේ ගමන් කරමින් සිටි අවුරුදු 70 ක් පමණ වයසැති සද්දන්ත අලියෙකු අම්බලන්ගොඩ දෙසය රැගෙන යමින් සිටියදී පාර මැද ඇද වැටීමෙන් අවාසනාවන්ත ලෙස මිය ගියේය.

මේ අවස්ථාව දැක බලා ගැනීමට ප්‍රදේශවාසීන් රැස්ව සිටි අතර ක්ෂණිකව පැමිණි වන ජීවී නිළධාරීන් ද පරීක්ෂණ කටයුතු ආරම්භ කළේය.

අවි ගබඩා සංකීර්ණයක් ඔයාමඩුවට

ත්‍රිවිධ හමුදාවන්ට අයත් පුපුරන ද්‍රව්‍ය සහ වාණිජමය පුපුරන ද්‍රව්‍ය ගබඩා කිරීම සඳහා ජනගහනය අඩු ප්‍රදේශයක ගබඩා සංකීර්ණයක් ස්ථාපිත කිරීමට රජය තීරණය කර තිබේ.

උතුරු නැ‍ඟෙනහිර ප්‍රදේශයන්හි හමුදා මෙහෙයුම් පැවති කාල වකවානුව තුළ ක්‍රියාන්විත කටයුතු සදහා භාවිත කරන ලද පතරොම් හා වෙඩි ද්‍රව්‍ය විවිධ ස්ථානවල තාවකාලිකව ගබඩා කරන ලද අතර, ඒවා නිසි පරිදි ගබඩා කර තැබීම සඳහා ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල ගබඩා සංකීර්ණයක් ජනගහනය අඩු ප්‍රදේශයක ඉදි කිරීමට 2011 වර්ෂයේදී අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී ඇත.