පිරිතට වැඩි හිමි දෙනමක් ගුටි ඇනගෙන රෝහලේ..!

පිළියන්දල, හෝකන්දර ප්‍රදේශයේ සති පිරිත් දේශනාවකට වැඩම කර සිටියදී හිමිනමක් පහර දුන්නා යැයි පවසා කුරුණෑගල ප්‍රදේශයේ හිමිනමක් කෑගල්ල මහ රෝහලට වැඩම කර ප්‍රතිකාර ලබමින් සිටින බව පොලිසිය කියයි.

මෙලෙස කෑගල්ල මහ රෝහලේ භික්ෂු වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් වැඩසිටින්නේ කුරුණෑගල ප්‍රදේශයේ විහාරස්ථානයක 55 හැවිරිදි හිමි නමක් බව පොලිසිය කියයි.

කෑගල්ල රෝහල් පොලිසිය කියා සිටියේ පහරදීමකට ලක්ව කෑගල්ල මහ රෝහලේ ප්‍රතිකාර ලබන ස්වාමීන් වහන්සේගේ හිතවත් භික්ෂුන් වහන්සේ නමක් පිළියන්දල හෝකන්දර ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩ සිටින බවත් එම විහාරස්ථානයේ සති පිරිත් දේශනාවක් සඳහා මෙම ස්වාමින් වහන්සේටද ආරාධනා කර තිබූ නිසා ඉකුත් 26දා කුරුණෑගල විහාරස්ථානයෙන් හෝකන්දර විහාරස්ථානයට වැඩම කර ඇත.

තවත් විහාරස්ථාන ගණනාවක ස්වාමින් වහන්සේ මෙම සති පිරිත් දේශනාවට වැඩම කර තිබුණු අතර පහරකෑමට ලක්වූ ස්වාමින් වහන්සේ හා අලුත්ගම කන්දේ විහාර ප්‍රදේශයෙන් වැඩම කර සිටි ස්වාමින් වහන්සේ නමක් සමඟ මෙම ස්වාමින් වහන්සේ සති පිරිත් දේශනාවේදී එකට පිරිත් දේශනා කර ඇති බව පොලිසිය කියයි. පිරිත් දේශනාවේදී කුරුණෑගල ප්‍රදේශයේ හිමියන් නියම ආකාරයට පිරිත් දේශනා නොකළේ යැයි පවසා අලුත්ගමින් පැමිණි හිමිනම පිරිත් මණ්ඩපයේදීම ‍ෙදාස් පවරා ඇත.

පසුව රාත්‍රියේ ස්වාමින් වහන්සේ දෙනමටම සැතපීමටද සූදානම් කර ඇත්තේ එකම ලැගුම් ගෙයි බවත්, එම අවස්ථාවේදී යළි දෙනම අතර ඇතිවූයේ යැයි කියන බහින්බස් වීමක් දුරදිග යෑමෙන් අලුත්ගම ප්‍රදේශයේ සිට වැඩම කර සිටි තරුණ භික්ෂුන් වහන්සේ ලැගුම් ගෙයිදීම කුරුණෑගල ස්වාමින් වහන්සේට පහර දීමට යෑමේදී කුරුණෑගල ස්වාමින් වහන්සේ අලුත්ගම ස්වාමින් වහන්සේගේ බෙල්ලේ එල්ලී ඇද වැටී ඇත. ඇද වැටුණු කුරුණෑගල ස්වාමින් වහන්සේට අලුත්ගම ස්වාමින් වහන්සේ පයින් පහරදුන් බව පවසා කෑගල්ල මහ රෝහලට වැඩම කර ඇතුළත් වී ඇත.

පසුව මේ සම්බන්ධයෙන් විමර්ශනයට ගිය කෑගල්ල රෝහල් පොලිසියේ නිලධාරියාට ස්වාමින් වහන්සේ ඉහත තොරතුරු ප්‍රකාශ කර ඇති අතර පහරදීමෙන් පසු බිම වැටී සිටියදී හේවිසිකාරයන් විසින් තමන් බේරා ගත් බවත් පවසා ඇත.