පාද යාත්‍රාවට භික්ෂූන් වහන්සේලා 2000ක්

මහනුවරින් ලබන 28 වැනි දා ආරම්භ වන ඒකාබද්ධ විපක්ෂයේ ජන සටන පාද යාත්‍රාවට භික්ෂූන් වහන්සේලා දෙදහසකට අධික පිරිසක් සහභාගි වන බව පැවිදි හඬ සංවිධානයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පැවසූහ.

නාරාහේන්පිට අභයාරාමයේ ඊයේ (25) පැවැති පැවිදි හඬ සංවිධානයේ මාධ්‍ය හමුවට එක්වෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කළහ.

පාද යාත්‍රාවට සියලු පහසුකම් සලසන්න

ඒකාබද්ධ විපක්ෂය විසින් එළැඹෙන 28 වැනි දා මහනුවරින් ආරම්භ කරන ජන සටන පාද යාත්‍රාවට එක්වන මහ ජනතාවට අවශ්‍ය සියලුම පහසුකම් සලසා දෙන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින්ට ඊයේ (25) පස්වරුවේ උපදෙස් දුන්නේය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම උපදෙස් දී ඇත්තේ ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන් ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේ ඊයේ (25) පස්වරුවේ පැවැති රැස්වීමකදීය.

KP ට රටින් පිටවීමේ තහනම යළිත් දික් කරයි

වේලුපිල්ලේ ප්‍රභාකරන්ට ‍පසුව එල්.ටී.ටී.ඊ. සංවිධානයෙහි නායකයා ලෙස පැවසුන කුමරන් පද්මනාදන් හෙවත් කේ.පී. ට මෙරටින් පිටවීම තහනම් කරමින් පනවා තිබූ අතුරු තහනම් නියෝගය ලබන ඔක්තෝබර් මස විසිහය (26) වැනිදා තෙක් දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය ඊයේ (25) තීරණය කළේය.

කේ.පී. ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා ගොනු කළ රිට් පෙත්සම කැඳ වූ අවස්ථාවේදී මෙම අතුරු නියෝගය දීර්ඝ කරන ලදී.

සරත් වීරවංශට රට යෑම තහනම්

ජනාධිපති ලේකම් කාර්යාලයෙන් වසර 2009 දී පාර්ලිමේන්තු අධීක්ෂණ මන්ත්‍රිවරුන්ට ලබා දෙන වාහනයක් භාවිත කරමින් රුපියල් ලක්ෂ 84කට ආසන්න මුදලක් ජනාධිපති ලේකම් කාර්යාලයෙන් සහ රුපියල් ලක්ෂ 16ට ආසන්න මුදලක් නිවාස ඉදිකිරීම් සහ ඉංජිනේරු සේවා අමාත්‍යාංශයෙන් ලබා ගත් බව කියන සිද්ධියට අදාළ සරත් වීරවංශ නැමැත්තාට විදෙස් ගත වීම තහනම් කරමින් කොටුව මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනවිය ඊයේ (25) තහනම් නියෝගයක් නිකුත් කළාය.

එම තැනැත්තා විදෙස් ගත වීම සම්බන්ධයෙන් ආගමන විගමන පාලකවරයාට එම නියෝගය යවන ලෙස ද මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

ජොනි හා මහින්දානන්ද අත්අඩංගුවට?

රාජපක්ෂ පාලන සමයේ සිදුවූවා යයි පැවසෙන වංචා දුෂණ කිහිපයක් සම්බන්ධයෙන් ජොන්ස්ටන් ප්‍රනාන්දු හා මහින්දානන්ද අලුත්ගමගේ යන හිටපු අමාත්‍යවරුන් ඉදිරි දින කිහිපයතුලදී අත්අඩංගුවට ගැනීමට නියමිත බව පොලිස් මුලස්ථාන ආරංචිමාර්ග පවසයි.

මොවුන් දෙදෙනාට බරපතල චෝදනා ගණනාවක් ම එල්ලවී ඇති අතර, ඒ සම්බන්ධයෙන් මේවනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හා පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයේ (FCID ) විමර්ශන කිහිපයක්ම සිදු කෙරේ.