හිතන්නවත් බැරි අය ළඟදීම අල්ලනවා

පොලිසිය දැන් වැඩ කරන්නේ මහජන අවශ්‍යතාව අනුව විතරයි. අරයාගේ මෙයාගේ මේ පැත්තෙන් පිටිපස්ස එන බලපෑම් පොලිසියට දැන් නැහැ. යහපාලනය ශක්තිමත් කිරීම පොලිස්පතිවරයාගේ යුතුකමක් සහ වගකීමක් බව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පවසයි.

මහා පරිමාණයෙන් දූෂණවල යෙදුණු සිහිනෙකින්වත් නොසිතූ ඇතැම් පුද්ගලයන් රටේ පවත්නා නීතියට අනුව ඉදිරි දිනවලදී අධිකරණය වෙත ඉදිරිපත් කෙරෙනු ඇති බවද පොලිස්පතිවරයා පැවැසීය.

විශ්වවිද්‍යාල ආචාර්ය සංගමය ගැටුම හෙළා දකී

යාපනය විශ්වවිද්‍යාලයේ සිංහල සිසුන් ඉලක්‌ක කරගෙන සිදු වූ ම්ලේච්ඡ ප්‍රහාරය ජාතික විශ්වවිද්‍යාල ආචාර්ය සංගමය දැඩි පිළිකුලෙන් යුතුව හෙළාදකින බැව් විශ්වවිද්‍යාල ආචාර්ය සංගමය නිවේදනයක්‌ නිකුත් කරමින් කියා සිටී.

ජාතික විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ ලේකම් ආචාර්ය චන්න ජයසුමන මහතාගේ අත්සනින් යුතුව නිකුත් කරනු ලැබ ඇති එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේ ද සඳහන් වේ.

වැට්‌ බද්දට අත ඔසවන මන්ත්‍රීන්ට විරෝධයක්

දැනට රට තුළ ඉමහත් ආන්දොaලනයට තුඩුදී තිබෙන වැට්‌ බදු වැඩිකිරීමේ සංශෝධනය සම්මත කර ගැනීමට පාර්ලිමේන්තුවේදී අත ඔසවන කිසිදු මන්ත්‍රීවරයකුට ඉදිරි මැතිවරණවලදී කිසිදු සහායක්‌ නොදීමට රටපුරා සිටින වෙළෙඳ සංගම් නියෝජිතයෝ තීරණය කර ඇතැයි වාර්තා වේ.

එම තීරණය සමස්‌ත ලංකා වෙළෙඳ සංගම් එකමුතුව විසින් ළඟදීම පවත්වන මහා සම්මේලනයක්‌ මගින් නිල වශයෙන් සම්මත කර ගැනීමටද නියමිතය. ඉන් පසු ඒ පිළිබඳව රටට ප්‍රකාශ කිරීමටද වෙළෙඳ සංගම් අපේක්‍ෂා කරයි.

මාස 3ක්‌ කටුනායක ගුවන්තොට වැසේ

කටුනායක බණ්‌ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ප්‍රධාන ධාවන පථය ලබන වසරේ ජනවාරි 06 සිට අප්‍රේල් 06 දක්‌වා මාස තුනක කාලයක්‌ ප්‍රතිසංස්‌කරණ කටයුතු සඳහා වසා තැබේ.

උදැසන 8.30 සිට පස්‌වරු 4.30 දක්‌වා කාලය තුළ ධාවන පථය වසා තැබේ.

මේ කාලය තුළ විකල්පයක්‌ ලෙස මත්තල ගුවන්තොටුපළ යොදාගන්නා ලෙස අදාළ ගුවන් සේවාවලට දැනුම් දී ඇතැයි සිවිල් ගුවන් සේවා අධ්‍යක්‍ෂ ජනරාල් එම්. එම්. සී. නිමල්සිරි මහතා ප්‍රකාශ කරයි.

ජාත්‍යන්තර පාසලක අත්බෝම්බයක්‌

නුගේගොඩ ප්‍රසිද්ධ ජාත්‍යන්තර පාසලක පිහිනුම් තටාකයේ තිබී විදේශීය රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක්‌ ඊයේ (17 වැනිදා) උදේ සොයාගත් බව කොහුවල පොලිසිය පවසයි.

ලද තොරතුරකට අනුව එම පාසලට ගොස්‌ පරීක්‍ෂා කිරීමේදී එය ජීව අත්බෝම්බයක්‌ බව හඳුනා ගැනීමෙන් පසු යුද හමුදා බෝම්බ නිෂ්ක්‍රීය අංශය කැඳවා එය පාළු ප්‍රදේශයකට රැගෙන ගොස්‌ නිෂ්ක්‍රීය කර ඇත.

යම් හෙයකින් දරුවන් මෙම පිහිනුම් තටාකයේ හිටියේ නම් එය පිපිරී විශාල අනතුරක්‌ සිදුවීමට ඉඩ තිබූ බවද පොලිසිය කියයි.