Pages

30 April 2024

තෙල් මිල පහළට: ඩීසල් රු. 20කින් බසී

අද (අප්‍රේල් 30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සිය ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබේ.

ඒ අනුව, ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රු. 3කින් පහළ දමා ඇති අතර එහි නව මිල රු. 368ක් දක්වා පහළ යනු ඇත.

විපක්ෂයේ තවත් හතකට බාර් තෑගි

විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තවත්  හත් දෙනකු ආණ්ඩුවෙන් මත්පැන් අලෙවිසල් බලපත්‍ර (බාර් ලයිසන්) ලබාගෙන ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ගවලින් පැවසේ.

මෙසේ මත්පැන් අලෙවිසල් බලපත්‍ර ලබාගෙන ඇති මන්ත්‍රීවරුන් පිරිසට කුරුණෑගල දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරු දෙදෙනෙක්, ගම්පහ දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරු දෙදෙනෙක්, කොළඹ දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරයෙක් සහ  දකුණු පළාතේ මන්ත්‍රීවරු දෙදෙනෙක් ඇතුළත් වෙති.

මහින්දානන්ද නිදොස්කොට නිදහස්

අයතා ලෙස උපයාගත් රුපියල් මිලියන 27කට අධික මුදලක් වැය කොට කොළඹ කින්සි පාරේ සුඛෝපභෝගී නිවසක් මිලදී ගැනීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකළේ යැයි චෝදනා ලබා සිටි හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා නිදොස් කොට නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා නියෝග කර කළේය. මෙම චෝදනාව සම්බන්ධයෙන් ඉකුත් යහපාලන රජය සමයේ නීතිපතිවරයා විසින් හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබිණි.
28 January 2024

ශ්‍රී ලංකා ක්‍රිකට්: ICC තහනම ඉවතට


අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාවට එරෙහිව පනවා තිබූ ක්‍රිකට් තහනම වහා ම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කර තිබේ. ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මීට පෙර අවස්ථාවකදී සඳහන් කර තිබුණේ, එම තහනම නුදුරේදී ඉවත් වනු ඇති බවට ය. ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයට දේශපාලන මැදිහත්වීම් සිදුවන බව පවසමින් පසුගිය වසරේ නොවැම්බර් මස 11 වන දා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය අත්හිටුවීමට පියවර ගනු ලැබිණි.
24 January 2024

ඔන්ලයින් පනත සම්මත වෙයි

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත දෙවන වර කියවීම අද (ජන. 24) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 46කින් සම්මත විය. ඒ සඳහා පක්ෂව ඡන්ද 108ක් හිමි වුණු අතර විපක්ෂව හිමි වූයේ ඡන්ද 62ක් පමණි. 
 ඒ අනුව, මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳපනත් කෙටුම්පත දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මත වූ බව කතානායක මහින්ද යාපා අබේවර්ධන පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ ය.