ජැකලින්ගේ කෝටි 7ක ගිණුම අත්හිටුවයි


ශ්‍රී ලාංකික සුරුපී බොලිවුඩ් නිළි ජැකලීන් ෆර්නැන්ඩස්ගේ ඉන්දීය රුපියල් කෝටි 7ක ස්ථාවර තැන්පතුවක් අත්හිටුවා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

ඉන්දියාවේ සිදු වු විශාලතම දූෂිත මුදල් ගනුදෙනුවක පරීක්ෂණවලට අදාළව එම පියවර ගෙන ඇති බව වාර්තා වේ.

එමෙන්ම ඇයට ඉන්දියාවෙන් පිටවීම ද මේ වන විට තහනම් කර තිබේ.

ඉන්දීය රුපියල් කෝටි 200ක මුදල් විශුද්ධිකරණ සිද්ධියකට අදාළව ඉන්දියාවේ බරපතළ මූල්‍ය අපරාධකරුවෙකු ලෙස සැලකෙන සුකේෂ් චන්ද්‍රශේකර් සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වේ.

විමර්ශකයින් සැකපළ කර ඇත්තේ අදාළ මුදල්වලින් කොටසක් ජැකලීන්ගේ නමට තැන්පත් කර ඇති බවටය.

36 හැවිරිදි ජැකලීන් විවාහකයෙකු වන චන්ද්‍රශේඛර් සමග පෙම් සබඳතාවයක් පවත්වා ඇති බව මේ වනවිට හෙළිවී තිබේ.

ඉන්දීය රුපියල් ලක්ෂ 52ක් වටිනා අශ්වයෙකු, ලක්ෂ 9ක් වටිනා පර්සියානු බළලෙකු ඇතුළු මිල අධික ත්‍යාග සහ ඩොලර් ලක්ෂ 1.5ක ණය මුදලක් තමාට චන්ද්‍රශේඛර්ගෙන් ලැබුණු බවට ඇය විමර්ශකයින් හමුවේ පාපොච්චාරණය කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

සුකේෂ් මේ වන විට ඉන්දීය පොලිස් භාරයේ පසුවන අතර වංචා කළ මුදල් කෝටි ගණනක් ජැකලීන් සඳහා වියදම් කළ බවද සුකේෂ් විසින් පවසා තිබෙන අතර පසුව ඉන්දීය මූල්‍ය අපරාධ ඒකකය ජැකලීන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී ඇය පවසා ඇත්තේ, සුකේෂ් නමගිය අපරාධකරුවෙකු බවට තමා කිසිසේත් නොසිතූබවයි.