ඩොලරය රු. 157 ත් ඉක්‌මවයි

ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට ඇමෙරිකානු ඩොලරයක අගය ඊයේ (15 දා) රුපියල් 157 ද ඉක්‌මවා ගියේය.

මේ අනුව මහ බැංකුව විසින් ඊයේ ප්‍රකාශයට පත් කරන ලද නවතම විනිමය අනුපාත අගයත් අනුව ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය රු. 157.20 දක්‌වා ඉහළ ගොස්‌ තිබිණි. පෙරේදා (14දා) ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය රුපියල් 156.74 ක්‌ විය.

වර්තමානයේ රට තුළ පවතින දේශපාලන අස්‌ථාවරත්වය නිසා රජයේ සුරැකුම්පත්වල විදේශ ආයෝජනද රටින් පිටට ඇදී යමින් තිබේ. මේ පසුබිම තුළ වර්තමාන අවිනිශ්චිත දේශපාලන වාතාවරණය විනිමය අනුපාතයට සහ කොටස්‌ වෙළෙඳපොළට අහිතකර ලෙස බලපානු ඇතැයි අපේක්‍ෂා කෙරේ.

වාහන මිල යළි ඉහළට
ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීම හේතුවෙන් වාහනවල මිල ඉහළ ගොස් ඇති බව වාහන ආනයනකරුවන්ගේ සංගමයේ හිටපු සභාපති මහින්ද සරච්චන්ද්‍ර පවසයි.

ජපාන යෙන්, ඇමෙරිකානු ඩොලරය සහ බි්‍රතාන්‍ය පවුමේ අගය විශාල ලෙස ඉහළ යෑම හරහා රුපියල අවප්‍රමාණය වී වාහන ආනයනය කිරීමේදී ගෙවුම් මිල ඉහළ යෑම මීට බලපෑ බවද හෙතෙම පැවැසීය.

ගැනුම් මිල ලක්ෂ 13ක් පමණ වන වාහනයක මිල ඒ අනුව රුපියල් ලක්ෂයකින් පමණ වැඩිවන බවද ඒ අනුව කුඩා මෝටර් රථ ආදියෙහි මිල රුපියල් ලක්ෂයකින් පමණ ඉහළ ගොස් ඇති බවද ඔහු පැවැසුවේය.