සතුටු වෙන්න ක‍්‍රම 10 ක්

සතුට තිබෙන්නේ තමන් තුළ බව බොහෝ දෙනා හිතන්නේ නැහැ. අනුන්ගෙන් සතුටු වෙන්න බලා ඉන්න අයට ජීවිතේ සතුට කියන්නේ හුඟක් දුර දෙයක්. ඔබ කරන කියන වැඩ තුළින් සතුටු වෙන්න ඉගෙනගැනීම තුළින් ජීවිතය හුඟක් ලස්සන වෙනවා. ලැබූ 2018 අවුරුද්දේ ජීවිතයට අලූත් බලාපොරොත්තු පුරවාගෙන මේ ක‍්‍රියාකාරකම් හි නියැළුණොත් ඔබට මගහැරුණු සතුට නැවත හමුවෙනවා සත්තයි.

01සතුන් සුරතල් කිරීම
සතුට සඳහා අවශ්‍ය හෝමෝන නිපදවීමට තවත් එක හේතුවක් තමයි සතුන් සමග කාලය ගත කිරීම. මේ හේතුව නිසා ඔබගේ සිත තුළ ඇති දුක වෙනුවට ඔබගේ සිතේ නිරන්තරයෙන් සතුටක් ඉපදේවි.

නිවෙස්වල ඇති කරන බොහෝ සතුන් ජීවත්වෙන්නේ පාලූවෙනුයි. ඔවුන්ටත් ඔබේ සමාගම ප‍්‍රියයක් වනවා නොඅනුමානයි. එවන් සතෙකුගේ කොන්දේසි විරහිත ආදරය ඔබටත් ජීවිතයට සතුට රැුගෙන ඒවි.

02සිපගැනීම
සිප ගැනීම තුලින් ඔබගේ සතුට සඳහා අවශ්‍ය ඔක්සිටොසින් නමැති හෝමෝනය නිපද වෙනවා. එය ඔබව වගේම ඔබගේ සහකරුවාව සතුටින් සිටීමට හේතුවක් වෙනවා. මේ තුලින් ඔබගේ මනස නිරවුල්කර ඔබව උද්යෝගිමත්ව තැබීම සිදු කරනවා.

දරුවන්, මිතුරු මිතුරියන් වැනි කාටත් ඔබ ආදරණීය හාදුවක් පිරිනමනවා නම් ඔවුනුත් ඔබට පෙරළා ආදරය කරාවි.

03 හිනාවෙන්න
හිනාව කියන්නේ හොඳම බෙහෙතක්. ඔබ හැම වෙලාවේම හිනා වෙලා ඉන්න උත්සහ කරන්න එයින් නිරන්තර සතුටක් ඔබට ලැබේවි. ජීවිතේ ඕනෑම දුකක් සතුටක් හිනාවෙලා භාරගන්න පුළුවන් හිතක් ඔබට තියෙනවා කියන්නේ එයම වාසනාවක්. මොකද එය හැමෝටම කරන්න බැහැ. හැබැයි මතක තියාගන්න ඔබට ඒ දෙය කරන්න පුළුවන් වෙන්නේ ටිකෙන් ටික පුහුණු වීමෙන් අනතුරුව තමයි. පොඩි පොඩි ප‍්‍රශ්න දරාගත්තාම ලොකු ලොකු ප‍්‍රශ්නවලට ඔබව අඬවන්න පුළුවන් වෙන්නේ නැහැ.

04 ඇහුන්කන් දෙන්න
ජීවිතේ සතුටට තවත් එක හේතුවක් තමයි, ඔබ තවත් අයෙකුට සවන්දීම. කිසිදු තරහක් සිතේ හට ගන්නට නොදී ඔබ සවන්දෙන්න පුරුදු වෙන්න. ඔබට වැඩි දෙනෙකුගේ ආදරය ආකර්ෂණය ලැබේවි.

05 උදව් කරන්න
තව කෙනෙකුට උදව් කරනවා කියන්නේ ඔබගේ සිතේ නිරන්තරයෙන් සතුටක් ඇති වෙනවා කියන එකයි. උදවු කරන මොහොතේදී කිසිවක් බලාපොරොත්තු නොවී කරන්න. හැබැයි ඔබ කරදරයක වැටුණු වෙලාවක ඔබට කළ හොඳ සිහිපත් කරමින් සත්‍යක‍්‍රියා කරන්න පුළුවන්කම ලැබේවි.

06 ව්‍යායාම කරන්න
ව්‍යායාම කිරීම තුලින් ඔබගේ ශරීරය පුරා රුධිරය බෙදාහරින අතර හෝමෝන නිපදවීම සඳහා එය ඔබට උපකාරී වෙනවා. මෙම යහපත් හොමොන ඔබව සතුටින් තැබීම සඳහා ඉතාමත් වැදගත් බව විශ්වාස කරන්න. ඔබ නිතර ඇවිදින්නට පුරුදු වෙන්න. එය ඔබගේ ශරීරයට වගේම මනසටත් ඉතාමත්ම හොඳයි. ඇවිදින විට ඔබට ලෝකයේ ලස්සන දකින්නත් පුළුවන්. විවිධ මිනිස්සු, විවිධ පරිසර තත්ත්ව වගේම විවිධ සිතුවිලිත් ඔබට මේ ඇවිදීමේ ව්‍යායාමයේදී මුණුගැහෙනවා.

07 හැමවෙලේම අලූත් දෙයක් කරන්න උත්සහ කරන්න
ඔබට පුළුවන් හැමවෙලාවෙම අලූත් දෙයක් කිරීම සඳහා ඔබගේ සිත යොමු කරන්න. නමුත් අලූත් දෙයක් කිරිමේදී කිසිම ආතතියෙන් සිදු කරන්න එපා. එය ඔබගේ සිතට වදයක් නම් එය කරන එක නවත්වන්න.

08 සමාජ ජාල භාවිත කිරීම
ගොඩක් දෙනෙක් හිතන්නේ නිරන්තරයෙන් සමාජ ජාල භාවිත කිරීම ඉතාමත් නරක දෙයක් කියලා. නමුත් එය ඔබගේ සිතට සතුටක් ගෙන දීම සඳහා වැදගත් තවත් එක් කරුණක්. ඔබ එහි නිරන්තරයෙන් මිනිසුන් සමග ගනුදෙනු කිරීමේදී, ඔබගේ ශරීරය තුළ ඔක්සිටොසින් නිපද වීම සිදුවෙනවා. මෙම සමාජ ජාලයන් තුළ ඔබට පහසුවෙන් මුණ ගැසිය නොහැකි පුද්ගලයන් පහසුවෙන් මුණ ගැසිය හැකි තැනක්. ඒ නිසා මේ සුහද හමුව ඔබව නිරන්තරයෙන් ඔබව සතුටට පත් කරාවි. හැබැයි සිතට කරදරයක් වෙන මිනිසුන්ගෙන් සමාජ ජාල තුළ දී දුරස්වී ඉන්න පියවර ගන්න.

09 උණු වතුරෙන් නෑම
උණු වතුරෙන් නෑම තුළින් ඔබගේ මාංශ පේශීන් ලිහිල් වීම සිදු වෙනවා. මෙය ඉතාම වැදගත් ක‍්‍රියාකාරකමක්. මෙය ඔබට අනිවාර්යෙන්ම සතුටින් සිටින්න අනුගමනය කළ හැකි තවත් එක ක‍්‍රමයක්.

10 ඔබ කැමතිම ආහාර ගන්න
ඔබ අකමැති කෑම ආහාරයට ගන්න එක නම්, ඔබව තවත් පිඩාවට පත් කරන්න හේතුවක්. ඒ නිසා ඔබ සැමවිටම ඔබගේ සිතට කැමති ආකාරයෙන් ආහාර රස විඳින්න පුරුදු වෙන්න. ඇතැම්විට ඔබට ඒවා උයා බලන්නත් නව අත්හදාබැලීමක් හැටියට කරන්න පුළුවන්. රස කෑම කෑම වගේම රස කෑම උයා ඔබේ සමීපතමයන්ට කැවීමත් මනසට ගෙන එන්නෙ සතුටක්.

සඳමාලි වර්ණසූරිය