දිවයිනපුරා ගණිකා වෘත්තියේ යෙදෙන කාන්තාවන් 45000ක්

දිවයිනපුරා ගණිකා වෘත්තියේ යෙදෙන කාන්තාවන් 45,000ක් සිටින බවත් ඔවුන් දිනකට පිරිමින් ලක්ෂ තුනකට පමණ සේවය සපයන බවත් කුරුණෑගල රෝහලේ ලිංගාශ්‍රිත රෝග ඒඩ්ස් මර්දන ඒකකයේ විශේෂඥ වෛද්‍ය එච්.ඒ.සී.ඩබ් හතුරුසිංහ මහතා අනාවරණය කළේය. ඒ මහතා ඒ තොරතුරු අනාවරණය කළේ, ජාත්‍යන්තර ඒඩ්ස් දිනයට සමගාමීව කුරුණෑගල තරුණ බෞද්ධ සංගම් ශාලාවේදී පැවැති දේශනයකදීය.

"සමලිංගික සේවනයේ යෙදෙන ලාංකිකයන් ගණන වෛද්‍ය සමීක්ෂණ අනුව ලක්ෂ 07ක් පමණ වුණත්, සමලිංගික සංවිධාන පවසන්නේ ඒ අයගේ වාර්තා අනුව ඔවුන්ගේ ප්‍රමාණය ලක්ෂ 25ක් පමණ වන බවයි. දැනට හඳුනාගත් එච්.අයි.වී ආසාධිතයන් 2600කට අධික පිරිසක් සිටිනවා. ආසාධිතයන් බහුලව වාර්තා වන දෙවැනි පළාත හැටියට පසුගිය කාලයේදි වයඹ පළාත නම්කර තිබුණා.

නමුත් දැන් ඒ තත්වය වෙනස්වී තිබෙනවා. ජනතාව හා ආරක්ෂක අංශ දැනුවත් කරනවා. පාසල් හා උපකරණ පන්ති යන දරුවන්ට දේශන පවත්වනවා,සායන පැවැත්වීම,අත්පත්‍රිකා,ස්ට්කර් බෙදාදීම හා මාධ්‍ය මගින් ජනතාව දැනුවත් කිරීම් කරමින් 2025 දී ඒඩ්ස් ලංකාවෙන් තුරන් කිරීම සඳහා දිස්ත්‍රික් මට්ටමෙන් කෙරෙන වැඩසටහන් සාර්ථකව කෙරෙනවා.

වයස අවුරුදු 15 සිට 24 අතර තරුණ පිරිමි අය ලිංගාශ්‍රිත රෝගවලට ගොදුරුවී සිටිනවා. ඒ වයස් කාණ්ඩවල පිරිස දැනුවත් කිරීමේ නව වැඩපිළිවෙළක් දැනට සැලසුම් කර තිබෙනවා. කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඇති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 30ම ජනතාව දැනුවත් කරනවා. දැනට පවත්වාගෙන යන වැඩසටහන් සියල්ල දිනකට පමණක් සීමා නොකර ඉදිරියටත් කිරීමට සැලසුම් කරනවා" යැයි පවසා සිටියේය.