පාකිස්තානයට එක්දින තරගාවලි ජය

ශ්‍රී ලකාව හා පාකිස්තානය අතර අබුඩාබි ෂෙයික් ෂෙයාඩ් ක්‍රීඩාංගණයේ පැවැති තෙවැනි දිවා - රාත්‍රි එක්දින තරගයේ ජයග්‍රහණය කඩුලු 7කින් පාකිස්තානයට හිමිවෙයි. තරග 5කින් සමන්විත එක්දින තරගාවලියේ පිට පිට තරග තුනම ජය ගැනීම හේතුවෙන් පාකිස්තානය තරගාවලිය 3-0ක් ලෙස පෙරමුණ ගෙන සිටී. ටෙස්ට් තරගාවලිය 2-0ක් ලෙස පරාජයට පත්වූ පාකිස්තානය එකට එක කිරීමක් සේ එක්දින තරගාවලියේදී මේ වනවිටත් අපරාජිතව සිටීම විශේෂත්වයකි.

ශ්‍රී ලංකාව මුලින් පන්දුවට පහරදී ඕවර් 48.2කදී ලකුණු 208ක් ලැබූ අතර පාකිස්තානය ඕවර් 42.3කදී කඩුලු 3කට ලකුණු 209ක් ලබා ජය තහවුරු කර ගත්තේය.

පාකිස්තානයේ නවතම සොයා ගැනීමක් වූ ඊයේ එක්දින වරම් දිනාගත් ආරම්භක පිතිකරු ඉමාම් උල් හක් අගනා පිති හරඹයකින් ලකුණු 100ක් ලබා ගත්තේය. පිටියේ සතර අතට පහර එල්ල කළ මේ යොවුන් ක්‍රීඩකයා පන්දු 125කට මුහුණදී හතරේ පහර-5ක් හා හයේ පහර 2ක් එල්ල කළේය. ඔහු ලකුණු 29දී හා 89දී දුන් උඩ පන්දු නිරෝෂන් දික්වැල්ල අතින් ගිලිහුණි.

ඉමාම් උල් හක් එක්දින වරම් ලබාගත් මුල්ම තරගයේදී ශතකයක් වාර්තා කළ ලොව 12වැනි පිතිකරුවා ලෙස ඉතිහාසයට එක් විය. එමෙන්ම මෙවැනි දස්කමක් දැක්වූ දෙවැනි පාකිස්තානු ජාතිකයා ද වේ. මෙයට පෙර පාකිස්තානයේ සලීම් එලායී 1995දී මංගල එක්දින තරගයට මුහුණදී පන්දු 133කදී නොදැවී ලකුණු 102ක් ලබා තිබුණි.

පාකිස්තාන තේරීම් කමිටු සභාපති හා හිටපු ක්‍රීඩක ඉන්සමාම් උල් හක්ගේ සමීප ඥාති පුත්‍රයෙකු බැවින් ‘සම්බන්ධකම්’ මත අවස්ථාව ලබාදුන්නේ යැයි පසුගිය දිනවල පැවැති ආන්දෝලනාත්මක ප්‍රචාරවලට ඔහු පිත්තෙන් පිළිතුරු දුන්නේය. 21 හැවිරිදි ඉමාම් උල් හක් අනෙක් ආරම්භක පිතිකරු ෆකාර් සමාන් සමග පළමු කඩුල්ලට ලකුණු 78ක සම්බන්ධතාවක් ගොඩනගා තිබියදී සමාන් ලකුණු 29කට දැවී ගියේ වැන්ඩර්සිගේ පන්දුවකට දික්වැල්ල ස්ටම්ප් කිරීමෙනි. මේ තරගාවලියේ හොඳින් ලකුණු අතර සිටි බාබර් අසාම් ළහිරු ගමගේ එවූ පන්දුවක් පිත්තේ වැදී කඩුල්ල බිඳීමෙන් ලකුණු 30කට දැවී ගියේය.ශ්‍රී ලංකා පිලට තර්ජනයක්වූ පාකිස්තාන පිලේ වේග පන්දු යවන හසන් අලී ලකුණු 34කට කඩුලු 5ක් බිඳ හෙලූ අතර එක්දින ක්‍රිකට් තරගවල වේගයෙන් කඩුලු 5ක් බිඳහෙලූ ලොව 5වැනි පන්දු යවන්නා බවට ද පත් විය. ඔහු මේ වසරේ තරග 16කදී කඩුලු 40ක් බිඳ හෙලා වසරේ වැඩිම කඩුලු බිඳ හෙලූ පන්දු යවන්නා බවට ද පත්විය.

මේ තරගයේදීත් ශ්‍රී ලංකා පිලේ දියාරු පිතිහරඹය දක්නට ලැබුණි. ශ්‍රී ලංකා ලකුණු පුවරුව 59ක් වෙද්දී ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ල පන්දු 25ක් තුළදී ලකුණු 18ක් ලබා සිටියදී හසන් අලීගේ පන්දුවක් කෙලින්ම කඩුල්ලේ වැදීමෙන් දැවී ගිය අතර අංක එක පිතිකරු දිනේෂ් චන්දිමාල් පන්දු 48කට මුහුණදී හතරේ පහරක් සමග ලකුණු 19කට දැවී ගියේය. චන්දිමාල්ට නිමාවූ තරග තුනම එතරම් යහපත් නොවූ අතර කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දෙවතාවක්ම අඩු ලකුණු ගණනකට දැවී ගියේය. චන්දිමාල් හා තරංග අතර දෙවැනි කඩුල්ලට සම්බන්ධතාව ලකුණු 43ක් විය.

ශ්‍රී ලංකා පිල මේ තරග තැනේදීම අඩු ලකුණු ගණනකට දැවී ගියේ ඉදිරි පෙළ පිතිකරුවන්ගේ දුරුවලතා හේතුවෙනි. නිරෝෂන් දික්වැල්ල කලින් නිමාවට පත්වූ එක්දින තරග දෙකේදීම අඩු ලකුණු ගණනකට දැවී ගිය හෙයින් ශ්‍රී ලංකා පිල දුර්වල ආරම්භයකට මුහුණ දුන්නේය.

තම එක්දින දිවියේ 35වැනි අර්ධ ශතකය වාර්තා කළ උපුල් තරංග පන්දු 79කදී හතරේ පහර 5ක් සමග ලකුණු 61ක් ලබා සිටියදී, සඩාබ් ඛාන්ගෙන් එල්ල වූ කෙටි පන්දුවකට ‘පුල්’ පහරක් එල්ල කිරීමේදී ‘ඩීප් ස්කවයාර් ලෙග්’ හී සිටි ෆකාර් සමාන් වෙතට උඩ පන්දුවක්දී ක්‍රීඩාගාරයට ගියේය. එවිට ලකුණු පුවරුව 112ට 3ක් වූ අතර නිහැඩියාවකින් පසුව කණ්ඩායමට එක්වූ චාමර කපුගෙදර සිවුවැනි කඩුල්ලට දැවී ගියේය. ඔහු වේග පන්දු යවන හසන් අලි අතට පහසු උඩ පන්දුවක් දී ලකුණු 18කදී තම ඉනිම නිමා කළේය.

සෙමින් ඉනිම ගොඩ නගමින් සිටි ළහිරු තිරිමාන්න එල්ල කළ පහර පිත්තේ ඇතුළත අග්‍රයේ වැදී පසුපස පාදයේ ‘සපත්තුවේ’ ස්පර්ශවී කඩුලු රකින සෆ්රාස් වෙත ඇදී ගොස් ලකුණු 28කට දැවී ගියේය.

එක් අන්තයකින් කඩුලු බිඳ වැටෙද්දී පිටියට පිවිසි තිසර පෙරේරා පන්දු 37කදී හතරේ පහර 5ක් සමග ලකුණු 38ක් රැස් කිරීමෙන් ශ්‍රී ලංකා පිලට යම් සහනයක් ලැබුණි. හොඳින් පන්දුවට මුහුණ දෙමින් සිටි තිසර, අවාසනාවන්ත ලෙස දුවද්දී දැවී යෑමකට හසු නොවන්නට ශ්‍රී ලංකාවට අවසන් පන්දු කිහිපයේදී තවත් ලකුණු කිහිපයක් එක්වන්නට ඉඩ කඩ විවරව තිබුණි.

ලකුණු පුවරුවට තවත් ලකුණු 5ක් එක් වෙද්දී සිරිවර්ධන හා වැන්ඩර්සී 5වැනි හා 6වැනි කඩුලු ලෙස දැවී යෑමෙන් ශ්‍රී ලංකා පිලට එල්ලවූ පීඩනය දරුණු එකක් විය.

ඊයේ තරගයේදී ශ්‍රී ලංකා පිලේ වෙනස්කම් දෙකක් තිබූ අතර සුරංග ලක්මාල් හා කුසල් මෙන්ඩිස් වෙනුවට දුෂ්මන්ත චමීර හා චාමර කපුගෙදර එක්ව සිටියහ.

ශ්‍රී ලංකාව මේ වනවිට එක්දින පිටියේ තරග 10ක් පිට පිට පරාජයවී අසීරුතාවට පත්ව සිටී. එක දිගට තරග 14ක් ශ්‍රී ලංකාව පරාජයවී මෙවැනිම පසුගාමී කාලයක් පසුකලේ 1988 සිට 1989දී දුලිප් මෙන්ඩිස් හා රන්ජන් මඩුගල්ල නායකත්වය දැරූ අවධියේදීය.