හදවත් බද්දයෙන් දින තුනකට පසු තරුණිය මිය යයි

මහනුවර මහ රෝහලේ දෙවන හදවත් බද්ධයට ලක්වූ තරුණිය සැත්කමෙන් දින තුනකට පසු හෘද රෝග ඒකකයේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇත.

හෘද ක්‍රියාකාරීත්වය දුර්වල වීමේ රෝගයකින් පෙළුණු ඇය පසුගිය මාර්තු මස 27 දින සිට මහනුවර මහ රෝහලේ හෘද රෝග ඒකකයේ වාට්ටු අංක 78 ප්‍රතිකර ලබමින් සිටියාය. ඇයට පසුගිය 20 වන දින හදවතක් බද්ධ කිරීමේ ශල්‍යකර්මය සිදු කිරීමට නියමිතව තිබුණද එය වැලකී ගියේය.

ඉන් අනතුරුව පසුගිය 27 දින අලුයම ඇයට හදවතක් බද්ධ කළ අතර සැත්කම සාර්ථක බව වෛද්‍යවරුන් තරුණියගේ පියාට පවසා තිබිණි. හදවත් ක්‍රියාකාරීත්වය දුර්වල වීමේ රෝගය සුව කිරීම සඳහා කළ යුතු එකම ප්‍රතිකර්මය හදවතක් බද්ධ කිරීම බවට විශේෂඥ වෛද්‍යවරුන් නිර්දේශ කර තිබිණි. 27වන දින අලූයම වනතෙක් සිදුකළ මෙම සැත්කමට වෛද්‍ය වරුන් සහ කාර්ය මණ්ඩලය විසිදෙනෙකු පමණ සහභාගි වුහ. මෙම දැරියට සිදුකිරිමට නියමිතව තිබු පළමු සැත්කම වෛද්‍ය උපකරණ වල අඩුපාඩුවක් නිසා අතහැර දැමු අතර සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් එම අත්‍යාවශ්‍ය උපකරණ ලබා දිමෙන් පසුව ඇයට හදවත් සැත්කම සිදුකෙරිණ. ඒ සඳහා ඥාතින්ගේ කැමැත්ත මත හදවතක් ලබාගත්තේ තලාතුඔය කපුලියද්දේ පදිංචිව සිට යතුරුපැදි අනතුරකින් හිසට බරපතල තුවාළ ලබා මොළය අකර්මණය වු නලින්ද බණ්ඩාර නම් 29හැවිරිදි තරුණයෙකුගෙනි.

දින දෙකක් යනතෙක් මෙම තරුණියගේ තත්ත්වය සුව අතට හැරෙමින් තිබු අතර එක්වරම තරුණිය අසාධ්‍ය තත්වයට පත්ව මියගොස් ඇත.

පෙනහළු වල රුධිර පීඩනය වැඩිවීමෙන් හෘදය අකර්මණ්‍යවීම මරණයට හේතුව ලෙස මරණ සහතිකයේ දක්වා තිබෙන බව සෙව්වන්දිගේ පියාවන මහේෂ් කුමාර මහතා පැවැසිය.