දරු සුරතල් තරම් සතුටක් මට තවත් නෑ

මංජුලා කොහොමද ජීවිතේ...?
ජීවිතේ හරිම සතුටින් ගෙවිලා යනවා. දැන් පුතා ඉන්න නිසා අපේ ජීවිත දැන් පිරිලා. ඒ ජීවිතේ වෙනස්ම අත්දැකීමක්. සතුටුයි, සුන්දරයි. දැන් ජීවිතේ වැඩි හරියක් ගෙවිලා යන්නේ පුතාත් එක්කම තමයි.

මංජුලා ආසාවෙන් හිටියේ පුතෙකුටමද...?
ඔව්... කොහොමත් මම ආසාවෙන් හිටියේ පුතෙක්ට. පුතා ඉපදුනේ 2015 අවුරුද්දේ. දැන් පුතාට වයස අවුරුදු දෙකයි. පුතා සාමාන්‍යයෙන් උදේ නැගිටිද්දී අට විතර වෙනවා. ඉතින් එයාව හෝදල ඒ වැඩ කරලා ඉවරවෙද්දී උදේ නවයහමාර විතර වෙනවා. එයා ඊට පස්සේ තමයි උදේට කන්නේ. ඒකත් එක්තරා යුද්ධයක් තමයි. එයා කෑම කන්න හරි හොරයි. ඉතින්... කොහොම කොහොම හරි වදෙන් පොරෙන් කෑම ටිකක් කවා ගන්නවා.

පුතාගේ නම මොකද්ද...?
එයාගේ නම ඔලිත සන්තුල්. ඔලිත කියලා කියන්නේ ඕලුවලටයි. සන්තුල් කියලා කියන්නේ චන්ද්‍රයා කියන එකටයි. පුතාගේ නම දැම්මේ මහේෂ් රත්සර මද්දුමආරච්චියි, අරිසෙන් අහුබුදුගේ දුවයි.

පුතා වැඩිපුර ආස මොනවටද...?
පුතා හරි ආසයි බයිසිකල් පදින්න. වහානවලටත් එයා හරි ආසයි. තව ඉතින් ගෙදර ඉදිද්දී අපිවත් එකතුකරගෙන එයා බෝල ගහනවා. පුතා කොහොමත් ටිකක් දඟ වැඩියි.

මංජුලා පුතාටම සෙල්ලම් කරන්න වෙන්කරපු හරි අපූරු සෙල්ලම් කාමරයක් හදලා තියෙනවා...?
ඔව්... ඒ කාමරය මගේ අදහසට අනුව හදපු එකක්. එයාගේ දෙවැනි අවුරුද්දේ උපන් දිනය තිබුණේ මේ අවුරුද්දේ ජූනි මාසේ පළවෙනිදා. ඉතින් මට ඕන වුණා එයාව ස්ප්‍රයිස් කරන්න. ඒ ගැන දැනගෙන හිටියේ මායි මගේ ආච්චියි විතරයි. පුතා හරි ආසයි Slidingවලට. ඉතින් මම ආච්චිඅම්මා එක්ක ගිහින් එයින් එකක් අරගෙන ඇවිත් සෙල්ලම් කාමරේ හරි ලස්සනට පේන්ට් කළා. චානුකවත් ඒක දැනගෙන හිටියේ නෑ. කොහොම හරි ඒ කාමරේ ඊට පස්සේ මම හොඳට වහලා තිබ්බා. බර්ත් ඩේ එක දවසේ පුතා කේක් එක කපලා ඉවරවෙලා මම එයාව ඒ කාමරේට අරගෙන ගිහින් ඒකේ දොර ඇරලා පෙන්නුවා. පුතාට හිතාගන්නවත් බැරි වුණා. එයා පුදුම විදිහට සතුටු වුණා. අන්තිමට පැය දෙකක් යනකන් ඒ කාමරෙන් අපිට එයාව එළියට ගන්නත් බැරි වුණා. අදටත් එයා සෙල්ලම් කාමරේට හරි ආසයි.

මංජුලා අදටත් බොහෝ දෙනා දන්නේ ඕලු කියලා. ඇත්තටම කෝ අද ඒ හිටපු ඕලු... කලාවෙන් අයින් වුණාද...?
ඒ ඈත්වීම වුණේ පුතා නිසයි. හැබැයි ගිය අවුරුද්දේ “අඳුරු සෙවණැලි කියන ටෙලිනාට්‍යයට මම සම්බන්ධ වුණා. ඒකෙදී බබාවත් අරගෙනම තමයි ෂූටිං කරන තැනට ගියේ. මාත් එක්ක ආච්චිඅම්මයි බබාව බලාගන්න තව කෙනෙකුයි එක්කගෙන ගියා. ඒක එකම යුද්ධයක්. ෂූටිං තිබුණේ කුලියාපිටියේ. ඉතින් පුතාටත් ඒක තෙහෙට්ටුවක්. දැන්නම් පුතා ටිකක් ලොකු නිසා කොළඹ වගේ රූගත කරන නිර්මාණයකට දායක වෙන්න ආසයි.

කාලයක් මංජුලා ටෙලිනාට්‍ය කීපයක්ම නිෂ්පාදනයත් කළා නේද...?
ඔව්... දැන් ඒවාත් නතර කරලයි තියෙන්නේ. බබා එක්ක කාලය ගතකරන නිසා එයාගෙන් එහාට මට දැන් කිසි දෙයක් හිතාගන්න බැරිවයි ඉන්නේ. මම කවදාවත් රැකියාවක් වශයෙන් රංගනයේ යෙදුනේ නෑ. ඉතින් රංගනය කරන කාලේදී මම හොඳ නිර්මාණවලට දායක වුණා. ජනප්‍රිය නිළිය සම්මානය දිනාගත්තා. මගේ ආදරණීය රසික රසිකාවියන්ගේ ආදරය දිනාගන්න මට පුළුවන් වුණා. ඒ නිසා රංගනය මගේ ජීවිතේ කියලා මම හිතන්නේ නෑ. පුතාගේ ළමා කාලයේදී මම එයත් එක්ක ඉන්න ඕනේ. අම්මාගේ සෙනෙහස, තාත්තාගේ සෙනෙහස එයාට දෙන්න ඕනේ. ඒ නිසා මම ජීවිතේ වැඩි කාලයක් ගතකරන්නේ අපේ පෞද්ගලික ජීවිතේ වෙනුවෙනුයි.

පුතා සංගීතයට එහෙම හරි කැමැතියි වගේ...?
ඔව්... ඔව්... එයා මියුසික්වලට හරි කැමැතියි. කොහේ හරි ගියත් ඔය සංගීත භාණ්ඩයක් දැක්කොත් එයා ළඟට ගිහින් ඒවාට තට්ටු කරනවා. ඒ වගේම මියුසික් එකක් ඇහුනොත් එයා නටනවා. සින්දුවක් ඇහුනොත් පුතා ඉන්න තැන ඉඳන් හරි නටනවා. එයා හරි හුරතල්. ගොඩාක් දඟ වුණාට හරි හොඳ දරුවෙක්. එයා තමන්ගේ ආස කෑමක් වුණත් අපිත් එක්ක බෙදා ගන්නවා. ඇත්තටම පුතාගේ දඟකාර හුරතල් දේවල් එක්ක අද අපේ දවස ගෙවෙනවා තේරෙන්නේ නෑ.