උදාවන සතියේ ඔබේ දෛවය

මේෂ - සඳු ලග්නයේ ද රවි කුජ බුධ පස්‌ වැන්නේ ද ගමන් කරන අතර ශනි 8 ගමන් කරමින් උදාවන මෙම සතිය තරමක්‌ කරදර සහිතව උදාවන බව පෙනේ. රැකියා හෝ ව්‍යාපාර ආශ්‍රිතව සේවක ගැටලු මෙන්ම සිත් තැවුල් ඇතිවිය හැකියි. අධ්‍යාපනය ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සුබපලදායකයි. විභාග හෝ සම්මුඛ පරීක්‍ෂණවලින් සමත් විය හැකියි. දරුවකුගේ දියුණුවක්‌ ගැන අසන්නට ලැබේ. සතිය මැද වන විට ආදායම් තත්ත්වයේ වැඩිවීමක්‌ පෙන්වයි. සෙම් රෝගවලින් ප්‍රවේශම් වන්න. සුබ පාට රෝස, සුබ අංකය 2, 3.

වෘෂභ - ලග්නාධිපති සිකුරු තුන් වැන්නේද, රවි, කුජ, බුධ හතරේ ද සඳු දොළහේ ද ගමන් කරමින් උදාවන මෙම සතිය මිශ්‍රපල දායකයි. සතිය මුලදී නිෂ්ඵල ගමනක්‌ යෙදේ. උත්සාහයේ තරමට ප්‍රතිඵල නැති බව පෙන්වයි. ගෘහ ජීවිතය සතුටුදායකය. සතිය මැද වන විට බලාපොරොත්තු සාර්ථක කරගත හැකිවේ. සිතේ සතුට ඇතිවේ. සහෝදර සබඳතා අලුත් වේ. කෘෂිකාර්මික කටයුතුවලට තිබූ බාධා ඉවත්වේ. ව්‍යාපාර හා රැකියා අංශවල සේවක සහයෝගය ලැබේ. දරුවකුට අපලයක්‌ පෙන්වයි.

සුබ පාට - මිශ්‍ර ලා, සුබ අංකය 6.

මිථුන - ලග්නාධිපති බුද සමඟ රවි, කුජ තුන්වැන්නේද සඳු එකොළහේද ගමන් කරමින් උදාවන සතිය සුබදායකයි. ප්‍රයෝජනවත් ගමන් බිමන් යෙදේ. ආදායම් සතුටුදායක වේ. ගෘහ ජීවිතය සාමකාමීව ගතවේ. සතිය මැද වනවිට තැන්පත් මුදලක්‌ වැයවීමට කරුණු යෙදේ. විදේශ ගමන් සාර්ථක කරයි. ලිපි ලේඛන හා ශාස්‌ත්‍රීය කටයුතුවලට සුබදායකයි. පෙම් සබඳතා මංගල යෝජනා ස්‌ථිරකර ගැනීමට කරුණු යෙදේ. බිරිඳ හෝ සැමියාට සුබදායකයි. සේවක සහයෝගය ලැබේ. ස්‌වයං රැකියාවලින් සුබපල අත්වේ.

සුබ පාට - කහ, සුබ අංකය 5.

කටක - ලග්නාධිපති සඳු දහ වැන්නේද රවි, කුජ, බුධ දෙවැන්නේ හා රාහු සමඟ සිකුරු ලග්නයේද ගමන් කරමින් සතිය උදාවෙයි. සතිය මුලදී දියුණුවට කරන කටයුතු වෙනුවෙන් දුර ගමනක්‌ යෙදීමට ඉඩ තිබේ. ආදායම් සතුටුදායක වේ. පවුලේ දියුණුවට කරන කටයුතු සාර්ථක වේ. අලුත් අදහස්‌ පහළවේ. අධ්‍යාපන කටයුතුවලට බාධා වන අයුරින් අලස බව හා වැඩ කල්දැමීම ඉස්‌මතුවිය හැකියි. සති මැදදී මිතුරන් හා සහෝදරයන් සමඟ සතුටින් කාලය ගතවේ. මේ අතර කාර්යබහුල බවක්‌ද පෙන්වයි.

සුබ පාට - සුදු, ක්‍රීම්, සුබ අංකය - 02.

සිංහ - ඔබේ ලග්නාධිපති රවි සමඟ කුජ හා බුධ ලග්නයේද සඳු නමයේද ගමන් කරමින් උදාවන මේ සතිය බොහෝ දුරට සුබපලදායකයි. උත්සාහය, ධෛර්ය වැඩිවේ. උසස්‌ අයගේ උදව් උපකාර ලැබේ. රැකියා තනතුරු ලැබෙන්නට කරුණු යෙදේ. අන් අය අතර පිළිගැනීමක්‌ ඇතිවේ. ගෙදර වැඩිහිටියකුට අපල බවක්‌ ද පෙන්වයි. විදේශ ගමන් යැමට තිබූ බලාපොරොත්තුවක්‌ ඉටුකර ගැනීමට කරුණු යෙදේ. බිරිඳ හෝ සැමියා නිසා සිත් තැවුලක්‌ ඇතිවීමට ද ඉඩ තිබේ. ඉවසීමෙන් කටයුතු කරන්න.

සුබ - පාට දිලෙන සුදු, සුබ අංකය - 1.

කන්‍යා - ලග්නාධිපති බුධ සමඟ රවි හා කුජ දොළහේද සඳු අට වැන්නේද ගමන් කරමින් උදාවන මේ සතිය ආරම්භයේ ශරීර සෞඛ්‍යය ගැන සැලකිලිමත් වන්න. හිතවත් කෙනෙකු අමනාපවීමට ඉඩ තිබේ. ආදායම් හා රැකියා අංශවලද බාධා පවතී. එහෙත් සතිය මැද වන විට මේ තත්ත්වය මගහැරී යනවා ඇත. තත්ත්වය සුබ අතට හැරේ. තිබූ ගැටලුවලට විසඳුම් ලැබේ. දරුවන්ගේ දියුණුව ගැන අසන්නට ලැබේ. විදේශ රැකියා බලාපොරොත්තු සාර්ථක කරගත හැකිවේ. ආදායම් සතුටුදායකයි.

සුබ පාට - මිශ්‍රලා, සුබ අංකය 6.

තුලා - ලග්නාධිපති සිකුරු රාහු සමඟ 10 වැන්නේද රවි, කුජ, බුධ එකොළහේද ගමන් කරමින් උදාවන මේ සතිය මිශ්‍රපලදායක වේ. සතිය මුලදී අවිවාහක අයගේ මංගල යෝජනා පිළිබඳ කටයුතුවලට සුබදායකයි. අන් අයගේ අඹු සැමි සමගිය ඇතිවේ. රැකියා හෝ ව්‍යාපාර අංශවල උසස්‌වීම් ලැබීමට හේතුයි. උසස්‌ අයගේ උදව් උපකාර ලැබේ. විදේශ ගමන් සාර්ථක වේ. සතිය මුලදී උසස්‌ කෙනෙකු අමනාප වීමට ඉඩ තිබේ. සෙම් රෝග වැනි සෞඛ්‍ය ගැටලු ඇතිවීමට ඉඩ ඇත.

සුබ පාට - මිශ්‍ර ලා, සුබ අංකය - 6.

වෘශ්චික - ලග්නාධිපති කුජ රවි සහ බුධ සමඟ දහ වැන්නේ ගමන් කරමික්‌ උදාවන මෙම සතිය රැකියා හෝ ව්‍යාපාර අංශවල සුබපල උදාකරයි. රැකියා අපේක්‍ෂා ඉටුකර ගැනීමට පහසුකම් සැලසේ. නායකත්ව ගුණාංග ඉස්‌මතුවේ. තනතුරුවල උසස්‌වීම් ලැබීමටද ඉඩ තිබේ. ණය මුදල් ලබා ගැනීමට තිබූ බලාපොරොත්තුවක්‌ ඉටුවේ. සතිය මුලදී අවිවාහක අයට මංගල යෝග යෙදේ. විවාහ සහකරුට සුබපල දායකයි. ශනි දශා ගතකරන අයට තරමක්‌ අපලයි.

සුබ පාට - සුදු, කහ, සුබ අංකය 02.

ධනු - ඔබේ ලග්නාධිපති ගුරු දහවැන්නේ ගමන් කරන අතර, රවි, කුජ, බුධ නමයේ ගමන් කරමින් උදාවන මේ සතිsය මිශ්‍රපලදායක බව පෙනේ. රැකියා හෝ ව්‍යාපාර කටයුතු සාමකාමීව කරගත හැකිවේ. ආගම දහමට හිත යොමුවේ. ආගමික උත්සවයකට සහභාගි වීමට ද ඉඩ ලැබේ. උසස්‌ අධ්‍යාපන කටයුතු සාර්ථක වේ. විදේශ ගමන්වලට තරමක්‌ බාධා පවතී. ශනි දශා ගතකරන අය සෙම් රෝග හා වාතාබාධවලින් ප්‍රවේශම් වෙන්න. වියදම් ඉහළ යා හැකි බැවින් පවුලේ වියදම් පාලනය කර ගන්න.

සුබ පාට - කහ, සුබ අංකය 5.

මකර - ලග්නාධිපති සෙනසුරු එකොළහේද, රවි, කුජ, බුධ අට වැන්නේද ගමන් කරමින් උදාවන මෙම සතිය තරමක්‌ අපලදායක බව පෙනේ. උෂ්ණාධික රෝග, උසස්‌ අය අමනාප වීම, නීතිමය ගැටලු වැනි කරදර ඇතිවීමට හේතුයි. මේ නිසා ඉතා කල්පනාකාරීව කල්ගත කිරීමට වැදගත් වේ. උෂ්ණාධික ආහාර ගැනීම හා උෂ්ණාධික පරිසරය අගුණයි. නමුත් යහපත් මිතුරන්ගේ ආධාර උපකාර ලැබේ. අලුත් මිතුරන් හඳුනාගැනීමට ද අවස්‌ථා උදාවේ.

සුබ පාට - නිල්, සුබ අංකය 7.

කුම්භ - සෙනසුරු දහවැන්නේද රවි, බුධ, කුජ හත්වැන්නේද සඳු තුනේද ගමන් කරමින් උදාවන මෙම සතිය බොහෝ කාර්යබහුල වනවා ඇත. සතිය මැදදී ගෙදර දියුණුවට කරන කටයුතු සාර්ථක වේ. ජලසම්පාදන කටයුතු හෝ ළිං හෑරීමට සුබයි. මේ අතර වියදම් ද ඉහළ යන බව පෙනේ. බිරිඳ හෝ සැමියාගේ රැකියා ප්‍රශ්නයකට විසඳුම් ලැබේ. අධ්‍යාපන කටයුතු සාර්ථක වේ. දියවැඩියාව හා කොලස්‌ටරෝල් වැනි රෝග ඇති අය ප්‍රවේශම් වන්න.

සුබ පාට - නිල්, සුබ අංකය 7.

මීන - ලග්නාධිපති ගුරු හත්වැන්නේද, රවි, කුජ, බුධ හය වැන්නේද සඳු දෙවැන්නේද ගමන් කරමින් උදාවන මෙම සතිය මිශ්‍රඵල දායක වේ. උත්සාහය ධෛර්ය වැඩිවේ. විවාහ සහකරුට සුබඵල දායකයි. සතිය අග වන විට නිවසේ දියුණුවට කරන කටයුතු සාර්ථක වේ. ධන ලාභ ලැබේ. බලාපොරොත්තු වූ ණය මුදලක්‌ ලබාගැනීමට හා සතුරු සැලසුම් සතුරු කරදර වලින් ජය ලැබිය හැකිවේ. විනෝදයට බර වීම නිසා අධ්‍යාපන කටයුතුවලට බාධා ඇතිවීමට ඉඩ තිබේ.

සුබ පාට කහ, සුබ අංකය - 5.

කෑගල්ලේ සුනිල් කුමාර ගම්ලත්