ශිරන්ති රාජපක්ෂ CIDට එයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය මේවන විට පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ.

රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා ඇය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා ඇති බව වාර්තා වෙයි.

සිරිලිය පදනමට අයත්ව තිබූ ඩිෆෙන්ඩර් රථයක් වසීම් තාජුඩීන්ගේ ඝාතනය සඳහා යොදාගෙන ඇති බවට අනාවරණය වී ඇති තොරතුරුවලට අනුව ශිරන්ති රාජපක්ෂ මහත්මියගෙන් ප්‍රශ්න කිරීමට නියමිතව තිබේ.

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඇතුළු විශාල පිරිසක් ද එම ස්ථානය අවට රැඳී සිටිමින් කළු පටි පළඳා විරෝධතාවක් ද පැවැත්වීමට සුදානමින් සිටින බව වාර්තා වේ.

පොලිසිය ජල ප්‍රහාරක රථ සහ කැරළි මර්ධන රථද එම ස්ථානයේ රඳවා ඇති බව වාර්තා වේ.

මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතාට ද හෙට(16) දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණීමට දැනුම් දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.

වසිම් තාජුඩීන්ගේ ඝාතනය සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණවලට අදාළව ප්‍රශ්න කිරීම සඳහා යෝෂිත රාජපක්ෂ මහතා ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා ඇති බව වාර්තා වෙයි.

ශිරන්ති රාජපක්ෂ මහත්මිය සහ යෝෂිත රාජපක්ෂ මහතා මීට පෙර අවස්ථා දෙකකදීම ප‍්‍රකාශ ලබා ගැනීමට කැඳවා තිබුණ ද අසනීප තත්ත්වය හේතුවෙන් ඔවුන් වෙනත් දින ඉල්ලා තිබිණි.