ක්‍රිකට් සභාපති ඉල්ලා අස්විය යුතුයි

දිගින් දිගටම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරඟවලින් දරුණු ලෙස පරාජය වීම හේතුවෙන් ක්‍රිකට් සභාපති එම ධුරයෙන් වහාම ඉවත් කළ යුතු බව හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

ඊයේ (15) අමාත්‍ය මණ්ඩල රැස්වීමට සහභාගී වී පැමිණි අවස්ථාවේදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.

ඉදිරියේදී පැවැත්වෙන තරඟ ජයග්‍රහණය කිරීමට අවශ්‍ය නම් ක්‍රිකට් පරිපාලනයට සුදුසු පුද්ගලයින් පත් කළ යුතු බවද ඔහු අවධාරණය කරයි.

විශේෂයෙන්ම වර්තමාන කාලය ක්‍රිකට් ක්‍රීඩාවේ නරකම කාලය වන බවත් වැරදි පුද්ගලයන් ක්‍රිකට් පරිපාලනය කරන විට රටේ ක්‍රිකට් මේ තත්ත්වයට පත්වන බව තමා වසර 2ක් පුරා පැවසූ බවත් ඒ මහතා පැවසීය.

එහෙත් කිසිසේත් මෙම තරඟ පරාජයට ක්‍රීඩකයින්ට විතරක් දොස් නැගිය නොහැකි බවත් වර්තමානයේ ලාංකීය ක්‍රීඩකයෝ මානසිකව ඇඳ වැටී ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

පවතින තත්ත්වය හමුවේ ලාංකීය ක්‍රීඩකයින්ගේ මනස සෑදිය යුතු බවත් ඔවුන්ගේ පුහුණු වීම් කටයුතු නිවැරදිද යන්න පිළිබඳ අවධාණය යොමු කළ යුතු බවත් ඔහු කියා සිටි අතර ක්‍රිකට් සංස්කෘතිය ඉගැන්විය යුතුව පවතින බවත් අද වෙනකොට එවැනි කිසිවක් බලාපොරොත්තු විය නොහැකි බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.