
රටක් ආදරය කළ කලාකරුවෙක් රටට ණය කරුවෙකු නොවී ඔහුට ගෞරවාන්විත සමුදීමක් කළ යුතු යැයි ශ්‍රී ලාංකේය ගායක-ගායිකා සංගමයේ සභාපති කීර්ති පැස්කුවල් මහතාට පහලවූ සිතුවිල්ලක් අනුව මධුමාධව අරවින්ද, ටිරෝන් මද්දුමගේ, සේනක උබේසිංහ හා නුවන් සමරසිංහ යන කලාකරුවන්ගෙන් සමන්විත සංවිධායක මඩුල්ලක් එකතුව මෙම මුදල ගෙවීම සඳහා සංගීත ප්‍රසංගයක් පසුගියදා පැවැත්වූවා.
ප්‍රසංගයේ අරමුණ ඉතාමත් සාර්ථක වෙමින් බලාපොරොත්තු වූ මුදල ඉක්මවා රුපියල් ලක්ෂ 5 ½ ක වැඩිපුර මුදලක් ලැබී තිබුණා.
පසුගිය 25 වැනි දින නවලෝක රෝහල් පරිශ්‍රයේදී පුංචි උත්සවයක් සංවිධානය කරලා මේ මුදල්-ණය පියවීමට කටයුතු කළා. එහිදී නවලෝක රෝහලට ගෙවිය යුතු මුදලින් රුපියල් ලක්‍ෂ දහයක් අඩුකරලීමට එහි සභාපති ජයන්ත ධර්මදාස මහතා කටයුතු කළා. ඉතිරිවූ මුදලින් ලක්ෂ 4ක් ප්‍රින්ස්ගේ නැඟණියට ලබාදුන් අතර ඉතිරි ලක්ෂ 1 ½ ක මුදල ප්‍රින්ස්ට පිං පිණිස අද වන විට රෝගාතුරව හා අසරණව සිටින කලාකරුවන් හය දෙනකුහට ප්‍රින්ස්ගේ නැඟණිය අතින්ම එම කලාකරුවන්ගේ ඥාතීන් වෙත ප්‍රදානය කරනු ලැබුවා.
එම කලාකරුවන් වූයේ ගායන ශිල්පිනී අයිරින් ද අල්විස්, නිවේදන ශිල්පී ධම්මික පී. රත්නායක, වයලීන් වාදන ශිල්පී රුවන් වීරසේකර, රංගන වේදිනී සමන්ති ලැනරෝල් හා රංගන වේදීන් වන බර්ටි ගුණතිලක හා සුමින්ද සිරිසේනයි.