තීන්දුව ගැනීමට ජනපති - අගමැති රවි කැඳවති

විදේශ කටයුතු ඇමැති රවි කරුණානායක මහතාට එරෙහිව ඉදිරිපත්ව ඇති විශ්වාසභංග යෝජනාවේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරු ඊට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන බවට දැනුම් දීම නිසා ඇමැතිවරයා කැඳවා මේ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇත. 

ලබන සතියේදී රවි කරුණානායක කැඳවා මේ සම්බන්ධයෙන් තීරණයක් ගනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. ජනාධිපතිවරයා සිකුරාදා (04) අගමැතිවරයාට දුරකථන ඇමතුමක් දී මේ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් විශ්වාසභංග යෝජනාවේදී රවි කරුණානායක මහතාට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන බව දැනුම්දී ඇතැයි මෙහිදී ජනාධිපතිවරයා විසින් අගමැතිවරයාට දැනුම් දී තිබේ. ජනතා විමුක්ති පෙරමුණ, ඒකාබද්ධ විපක්ෂය විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන බව දැනුම් දීමත්, දෙමළ ජාතික සන්ධානයද මේ සම්බන්ධයෙන් ස්ථිර ප්‍රකාශයක් නොකිරීමත් හේතුවෙන් විශ්වාසභංග යෝජනාව ආණ්ඩුවේ පක්ෂ දෙකේ සම්බන්ධයට ගැටලුවක් මතුවිය හැකි බවද පෙන්වාදී ඇතැයි වාර්තාවේ.

එම නිසා රවි කරුණානායක මහතා කැඳවා මේ සම්බන්ධයෙන් තීරණයක් ගනිමු යැයි ජනාධිපතිවරයා අගමැතිවරයා වෙත දැනුම්දී ඇතැයිද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. ඇමැතිවරයා සමග එක් වී මේ සම්බන්ධයෙන් තීන්දුවක් ගනු ඇති බවත් බොහෝ දුරට ඔහුට ඇමැති ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස දැනුම් දෙනු ඇති බවත් දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.