මේක වැඩබැරි ආණ්ඩුවක්

- විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත

ඔබ ආණ්ඩුවට සම්බන්ධ වුණු කාලයේ ඉඳන් සද්දයක් නැතුව හිටිය කෙනෙක්. ඒත් මේ මෑතක ඉඳලා දරුණු ප්‍රකාශ කරන්න අරගෙන තියෙනවා. මොකෝ මේ?

නෑ අපි ඉතින් බලාගෙන හිටියා මේක කොහොමද යන්නේ කියලා. ඒත් මේ යන ක්‍රමය පක්ෂයේ ප්‍රතිපත්තිවලටයි අපේ ප්‍රතිපත්තිවලටයි එකඟ නෑ. එහෙම නැති තැනදී අපි කතා කරන්න ඕන.

මේ එකඟතාවය නැතිවුණේ දැන්ද? ඒක මිට කලින් දැනුණේ නැද්ද?

පටන් ගන්නකොට එහෙම පේන්නේ නෑ නේ. මේ අය කිව්වනේ සම්මුතියක් තියෙනවා කියලා. ඒත් කාලයක් ගතවෙන්න එපැයි මේවා තේරෙන්න. දැන් අපිට තේරෙන්නේ අපේ හඬ යටපත් කරගෙන කැබිනට් එක ඇතුළෙයි රට ඇතුළෙයි එයාලට අවශ්‍ය දේවල් එයාලා සිදුකරගෙන යනවා කියලා. එහෙම නම් අපි ඉන්න ඕනේ නෑනේ. එයාලට තනියම කරගෙන යන්න පුළුවන්නේ.

පිරිසක් ඉන්නේ යන්න සූදානමින්

ඒ කියන්නේ පොරොන්දු කඩවුණා?

මෙතන පොරොන්දු කඩවීම නෙමෙයි. අවබෝධය පිළිබඳ ගැටලුවක් තියෙන්නේ.

මෙහෙම ඉච්ඡාභංගත්වයෙන් ඉන්න බෑනේ ආණ්ඩුව ඇතුළේ. විවේචනය කරන එකත් හරි නෑනේ?

දැන් අපේ අවුරුදු දෙකේ කාලය ඉවරවේගෙනනේ එන්නේ. අපි මුල්ම තීරණය ගත්තේ පක්ෂයක් හැටියට. ඒ නිසා මේ ගැනත් පක්ෂයක් හැටියට තීරණයක් ගන්න තැනට යන්න ඕනේ. එහෙම නොවුණොත් තමයි විකල්ප මොනවද කියලා බලන්නේ.

හැබැයි මේ පක්ෂ තීරණයට කලින් එළියට ආවා 18ක් ආණ්ඩුවෙන් යනවා කියලා. මේ කාගේ තීරණද?

විවිධ අය මත ප්‍රකාශ කළා. විවිධ නිගමනවලට ආවා. හැබැයි ඉතින් එහෙම පිරිසකුත් සූදානම් වෙලා ඉන්නවා.

නීතිඥයන්ගෙ දේවල් දොස්තරලා කතා කළාම හරියනවද

හැබැයි ආරංචිය තියෙන්නේ දහඅට දෙනාට නායකත්වය දෙන්නේ ඔබ කියලා?

නායකත්වය කියන දේවල් කවුරු ගන්න ඕනේ නෑ. ඒවා අවස්ථානුකුලත්වය අනුව ඉස්මතු වන දේවල්.

ඔබ හිතන්නේ ආණ්ඩුව මෙවැනි ප්‍රශ්න රැසකට මුහුණ දෙන්න හේතුව ජනතා ප්‍රශ්න අමතක කිරීමද?

මට නම් පේන්නේ මේ ආණ්ඩුවේ නොහැකියාව.

ඒ කියන්නේ ආණ්ඩුවට ප්‍රශ්න විසඳන්න හැකියාවක් නෑ.

ඔව්.

පක්ෂ දෙකක් එකතුවුණ නිසාද මේ අවුල?

පක්ෂ දෙකක් එකතු වුණාම මත ගැටෙනවා නේ. එහෙනම් පක්ෂ දෙක දැනගන්න ඕන එකතු වෙලා ප්‍රතිපත්ති මාලාවක් හදන්න. මෙන්න ආණ්ඩුවේ දැක්ම කියලා. දැන් එහෙම එකක් නෑනේ. හිටපු ගමන් අගමැතිතුමා ඇවිත් පත්‍රිකාවක් දානවා. අනෙක් ඇමතිවරු එතකොට කියනවා සී.සී.එම්. දාන්න කියලා. ඒ ගිහිල්ලා එන්නෙත් ඒ පත්‍රිකාවමයි. එහෙම කටයුතු කරන්න අපි සූදානම් නෑ.

යූ.එන්.පීය කියන විදියට අපට වැඩ කරන්න බෑ

ඔබලා ආණ්ඩුවට බැඳුණේ ජනාධිපතිතුමා ගැන විස්වාසයෙන්නේ?

එතුමගේ විශ්වාසය නිසා තමයි අපි එකතු වුණේ පක්ෂයේ තීරණයක් අනුව.

ජනාධිපතිතුමාට මේ දුක කිව්වේ නැද්ද?

නෑ ජනාධිපතිතුමා නම් කිහිප අවස්ථාවක මැදිහත් වෙලා ප්‍රශ්න විසඳුවා. වැට් ප්‍රශ්නය වගේ දේවල්. යම් යම් අවස්ථාවල ප්‍රශ්න විසඳුවා. ඒත් අපි බලන්න එපැයි ජනතාවට එයින් බලපාල තියෙන දේවල්. මොන ප්‍රශ්නය බැලුවත් හැම ප්‍රශ්නයේදි මතුවෙලා තියෙන එකම ගැටලුව තමයි අවස්ථාව අනුව ක්‍රියාමාර්ග ගන්නේ නැතිකම. දැන් බලන්නකෝ සයිටම් ප්‍රශ්නයම. පීඨ අටක් වහලා. දැන් මේකට විසඳුමක් තියන්න එපැයි. බලන් ඉඳලා හරියන්නේ නැනේ. මෙහෙම රටක් යන්න පුළුවන්ද? මේ මොන අපරාධයක්ද. ළමයි දෙකට බෙදිලා. ලංකාවේ ඉන්න දක්ෂම ළමයි ටිකනේ මේ ඔක්කොම ගෙදර, මොන අපරාධයක්ද. මේවා විෂය බාර අය එක්ක කතා කරලා නැත්තන් ජනාධිපති අගමැති එක්ක කතා කරලා එහෙමත් නැත්තන් අපිත් එක්ක හරි කතා කරලා ප්‍රතිපත්තිමය විසමකට එන්න ඕන.

එජාපය නම් කියන්නේ ගිය ආණ්ඩුවේ තුවාලේ තමයි මේ ආණ්ඩුවේදි පෑරිලා තියෙන්නේ කියලා?

ඕක නෙමෙයි නේ කතාව. ඕක ඉස්සෙල්ලා ආවේ කළමනාකරණය විද්‍යාලයක් හැටියට නේ ආවේ. ඊට පස්සේ තමයි “එම්” කියන කෑල්ල එකතු වුණේ. ඊට පස්සෙයි ඒක මෙඩිකල් වුණේ. අපිට කිව්වේ උපාධිය රුසියාවෙන් ගේන්න යවනවා කියලා. හැබැයි අපි දන්නෙත් නෑ ගැසට් ගහලා ක්‍රමානුකූලව වැඩේ ගිහින් තියෙනවා. සාමාන්‍යයෙන් වෛද්‍ය විද්‍යාලයකට එක අවුරුද්දට එක කණ්ඩායමයි ගන්නේ. මේකේ කණ්ඩායම් දෙක දෙක ගන්න ගියානේ. මේක ව්‍යාපාරයක්. ඒ නිසා මොන දේ තිබ්බත් අද දවසේ තියෙන ප්‍රධාන ප්‍රශ්නේ මොකක්ද කියලා බලන්න ඕන. මේ ළමයින්ගේ අනාගතය ගැන හිතන්න එපැයි.

නෙවිල් ප්‍රනාන්දු රෝහල පවරා ගත්ත කතාව අලි බොරුවක්

හැබැයි ආණ්ඩුව විශාල උත්සවයක් තියෙලා නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවර ගත්තේ විසඳුමක් හැටියට?

විශාල බොරුවක් නේ ඒ කළේ. මේ අපි මෝඩයොද? මම ඔය වගේ දේවල්වලට එන්න කිව්වත් යන්නේ නෑ. මිනිස්සු මුලාකරන වැඩනේ. පැහැදිලිව ජී.එම්.ඕ.ඒ. එක පෙන්නුව අත්සන් කරලා තියෙන්නේ ගිවිසුමක් නෙමෙයි කියලා. මේ අය ජනාධිපතිතුමාටත් බොරු කරනවනේ. ඔතන වෙලා තියෙන්නේ ජනාධිපතිතුමාව දිනවන්න උපකාර කරපු කීප දෙනෙක් ඉන්නවානේ. මේ අය හිතනවා එයාලත් ජනාධිපති කියලා.

ඒ කියන්නේ විපක්ෂය කියන කතාව හරි ආණ්ඩුවට නායකයෝ ගොඩක් ඉන්නවා?

ගෙයක්වත් පාලනය කරන්න බෑනේ නෝනයි මහත්තයයි දෙන්නම නායකයෝ වුණාම. ගෙදර ආරවුල්නේ. මේ වෙලා තියෙන්නෙත් ඒකනේ.

හැබැයි ජනාධිපතිත්, ඇමැතිවරුත් කියන්නේ දැඩි තීරණ ගන්නවා කියලා. කෝ තවම නෑනේ?

ඔව් ඉතින් එතුමා කල්යල් බලනවා ඇති වෙලාවක් එනකල්. උදාහරණයක් හැටියට බැඳුම්කර චෝදනා එල්ලවෙලාතියෙන මහබැංකු අධිපතිවරයගේ සේවා කාලය දික්කළේ නෑ මොන අභියෝග ආවත්. කෝප් කමිටු වාර්තා දෙකක් ආවත් එතුමා කොමිසමක් දැම්මා. කොමිසමක් දැම්මේ නැත්තන් මේවා හෙළිවෙන්නේ නෑනේ. ඇමතිවරුන්ට සාක්ෂිදීමේ හැකියාව මිනිස්සු දන්නෙත් නෑ නේ එහෙනම්. අමතක වෙන රෝගයක් ගැනවත් දන්නේ නෑනේ. මම දන්නේ නෑ... මට මතක නෑ, සාමාන්‍යයෙන් වයසට යනකොට අමතක වීමේ රෝගයක් එනවා. එහෙම තියෙනකොට ඉල්ලා අස්වෙන එක තමයි වඩා හොඳ.

ඇයි මේ සයිටම් එකට හරි විසඳුමක් දෙන්න බැරි ආණ්ඩුවට තවමත්?

හේතුව තමයි විෂයභාර ඇමැතිවරයයි, උසස් අධ්‍යාපන අමාත්‍යවරයයි, ඉන්නේ වෙන මතයක නිසා. අනිත් අයට ඇහුම්කන් දෙන්නේ නෑනේ.

සයිටම් ප්‍රශ්නය හරිම අපරාධයක්

ඒ කියන්නේ ආණ්ඩුව තුළ මේකට සාමුහිකත්වයක් නැද්ද?

මන්දා මේක ගැන නම්. සමහර අය කියනවා පෞද්ගලික අධ්‍යාපනය හොඳයි කියලා. උසස් පෙළ ප්‍රතිඵල හොඳ වුණත් කැම්පස් යන්න බැරි දක්ෂ අය ඉන්නවා. ඒ අයටත් ඉගෙන ගන්න ක්‍රමයක් තියෙන්න එපැයි. ඒත් රජයේ වගකීම තමයි තියෙන විශ්ව විද්‍යාල ටික නඩත්තු කරන එක. නමුත් ඒක නොකර පෞද්ගලික තැනට ඉඩදීලා රජයේ ඉන්න ආචාර්යවරු එතන්ට ගියොත් අපේ ළමයින්ට උගන්වන්න කෙනෙක් නෑ ඊට පස්සේ. අද මේ රටේ දුප්පත් ළමයකුට තියෙන එකම ශක්තිය මේ අධ්‍යාපනය විතරයි. ඒකටනේ මේ ගහන්නේ. හරි වැරදියි.

ඔබලා ආණ්ඩුවට එකතු වෙනකොට තිබ්බ එකඟතාවයක් තමයි ව්‍යවස්ථාව 20වැනි සංශෝධනයට සහය දක්වනවා කියලා. ඒත් දැන් බෑ කියනවා අැයි ඒ?

මේ කෙනා විස්සට අපි විරුද්ධයි . අපි පොරොන්දු වුණේ 19 ය කරන්නේ 20ට යටත්ව කියලා. ඒත් අපි විස්ස නැතිව පළාත් සභා ඡන්දය කල්දාන එකට තනි තනිවත් විරුද්ධ වුණා. මධ්‍යමකාරක සභාවෙත් විරුද්ධ වුණා. මධ්‍යමකාරක සභාව තීන්දුවක් ගත්‍තා 20ට සහයෝගය දෙන්නේ නෑ කියලා.

මධ්‍යමකාරක සභාව කියන්නේ ඔබලගේ තැනනේ. ඇයි කැබිනට් එකේදී විරෝධය නොපෑවේ?

ඇත්තටම එදා මම හිටියේ නෑ. හිටියා නම් විරෝධතවය දක්වනවා. මම දන්නේ නෑ කැබිනට් පත්‍රිකාවේ මොනවද තියෙන්නේ කියලා. ඒත් ගැසට් එක දැක්කමයි තියෙන්නේ මේවා විසුරැවලා පාලනය එන්නේ පාර්ලිමේන්තුවට කියලා.

සමහරු හිතාගෙන ඉන්නෙ ඒ ගොල්ලොත් ජනාධිපති කියලා

පළාත් සභා පළාත් පාලන ඇමැති ඔබේ පක්ෂයේ කෙනෙක්. මේවා ඇතුළෙම විසඳගන්න පුළුවන්නේ?

අපිත් එක්ක කතා කළානම් කියන්න තිබ්බා. ඒත් ඔය කැබිනට් පත්‍රිකාව දැම්මේ එයා නෙමෙයි අගමැතිතුමා.

ඒ කියන්නේ ඇමැතිවරු නොදැනුවත්ව යෝජනා කැබිනට් එකට එනවා?

ඒක තමයි මම කියන්නේ. මෙහෙම කරන්න ඕනේ නම් පක්ෂ නායකයෝ කතා කරලා තීරණයක් ගන්න. හැමදාම වරද්ද ගත්තේ ඔතනනේ. එකතු වෙලා වැඩ කරන්න ගියහම ආපස්සට අදිනවා. ඒකනේ හැමදාම වුණේ. සම්මුතියක් කෝ.

ඒ කියන්නේ මේ ආණ්ඩුව යහපාලනය, සම්මුතිවාදී කියලා ගේන ඒවා සංකල්ප විතරයි?

සංකල්ප ඇත්‍ත. ඒත් ඒවා ප්‍රායෝගික වශයෙන් යථාර්ථයක් කරගැනීමේ නොහැකියාව තමයි ඔය පේන්නේ.

දිගින් දිගට ඇයි මේ ආණ්ඩුවට විශ්වාසභංග එන්නේ?

මේ දේශපාලනය ගැන නොදැනුවත්කම නිසානේ. දැන් ෆයිසර්ට විශ්වාසභංගයක් ගේන්න යනවා. අර බණ්ඩාරවෙල මන්ත්‍රීකෙනෙක්ට පළාතේ දේකට උත්තරේ ලබාගන්න බැරි වුණාම විශ්වාසභංගයක් ගේනවා. මේක තේරෙන්නේ නැති මිනිස්සුනේ පාර්ලිමේන්තු ඇවිත් තියෙන්නේ.

මලික්-කබීර් දෙන්නත් කොමිසමට යා යුතුයි

විජේදාස රාජපක්ෂ මහත්තයටත් ගෙන්න යනවනේ?

ඔව් එතුමා ඇත්ත කතා කරනවා. ඒකයි

ඉතිහාසයේ ඇහුවමයි ආණ්ඩුවෙන් ආණ්ඩුවේ අයටම විශ්වාසභංග ගේනවා?

ඔයා හිතනවද ඔය මන්ත්‍රී කණ්ඩායමේ ඕනකමකටම එන්නේ කියලා ඕවා. පක්ෂේ නායකයෝ ඉන්නේ ඕවා නවත්තන්න පුළුවන්නේ.

ඒ කියන්නේ මේ වැඩ පිටිපස්සේ අදිසි හස්තයක් තියෙනවා කියලද?

ඔය හැම එකේම එහෙම තමා.

ආණ්ඩුවට එල්ල වෙන චෝදනාවක් තමයි රටේ සම්පත් විකුණනවා කියලා. ආණ්ඩුවට සල්ලි නැද්ද?

මේ ආණ්ඩුව ආවේ විකුණන්න බලාගෙනනේ. මම වේලාසනම කිව්වා. ඒකෙන් පේන්නේ මේ ආණ්ඩුවේ නොහැකියාව. දැන් හිතන්න මට මගේ තාත්තගෙන් ව්‍යාපාරයක් හම්බවෙනවා. මම හිතාගෙන. හිටියොත් කවදා හරි මේක විකුණනවා කියලා. ඒක කරනවාමයි. හරි නම් මම කරන්න ඕන මීට වඩා හොඳින් මේක කරන් යන්න. පාඩුවෙන්න පුළුවන් අභියෝගය අරගෙන කරගෙන යන්න ඕන. එතකොට මිනිස්සු කියයි දැන් හරි කියලා. දැන් එහෙම කියන්නේ නෑ නේ. මහින්ද මහත්තයා පිහිනුම් තටාකයක් හදපු නිසානේ ඩොලර් බිලියන 1.1 ගන්න පුළුවන් වුණේ. හතරක් පහක් හදලා තිබ්බා නම්. බලන්න ගත්ත ගමන් මත්තල ගිහින් වී ගබඩා කළා. මොන විදේශ සමාගමද වී ගබඩාවකට ප්ලේන් බාන්නේ. වී දාන්න වෙන තැනක් තිබ්බෙම නැද්ද? ඒකෙන් පේනවා මේ අයගේ අරමුණ. මේ අයට බැරිවුණු දේවල් තව ආණ්ඩුවකින් කළා. හදනකොට කිව්වා අසාර්ථකයි කියලා. යුද්ධෙත් ඔහොමනේ කිව්වේ. තොප්පිගල අල්ලනකොට කිව්වානේ “තොප්පි ගල කියන්නේ... මහ කැලෑවක්” කියලා. කොහොමද ඒකේ හඬ. දැන් සමහර අෑයෝ කියන්නේ යාපනේ කලබල නෑ කියලා. ආවා නෑ කියන්නේ. ඕවා කියන්න හම්බෙන්නේ නෑ 2009 යුද්දේ දින්නේ නැත්තන්. සමහරු ආයුධ තොග පිටින් දුන්නා. මම ඉතින් කියන්නේ නෑ නම්...

අමතක වීමේ ලෙඩේ තියෙනවා නම් අස්වෙන එක තමයි හොඳ

හම්බන්තොට වරාය රැකගන්න විජේදාස ඇමැතිවරයා තනි සටනක් කරනවා. ඇයි ඔබලා නිශ්ශබ්ද?

අපි කිව්වා. කිව්ව නිසානේ කැබිනට් අනු කමිටුවට දැම්මේ. ඒත් ඒ වාර්තාව එන්න කලින් විකිණුවා. ගිවිසුම් ගහලා ඉවරයිනේ.

ජනාධිපතිට හොරා මේ දේවල් වෙන්න පුළුවන්ද?

ඒක ඉතින් දන්නේ නෑ මම...

බැඳුම්කර වංචාවට ඔබලා කෑගැහුවට ඉස්සෙල්ලා අණ්ඩුවේ ග්‍රීක් බොන්ඩ් එක, හෙජින් ගිවිසුම් නිසා විශාල පාඩුවක් රටට වුණා කියලා එජාපය චෝදනා කරනවා.

හෙජින් ගිවිසුමේ ඔක්කොම පරීක්ෂණ ඉවරවෙලා තියෙනවා නේ. ඕන නම් නඩු දාන්න කියන්නකෝ. ඒක තමයි කියන්නේ මේක අපරාධ නඩුවක්ද සිවිල් නඩුවක්ද කියලා දැනගන්න ඕනේ. ඔහේ කෑගහලා හරියන්නේ නෑ. තමන් දෙයක් අධ්‍යනය කරලා ප්‍රකාශ දෙන්න ඕනේ. මේක හොඳ අවස්ථාවක් ජනතාවට 2020 ඡන්දය දෙනකොට මොන පක්ෂයටද ඡන්දය දෙන්න කියලා තීරණය කරන්න.

රවී කරුණානායක මහත්තයා ඉවත්වීම හොඳ පූර්වාදර්ශයක් කියලයි එජාපයේ අය කියන්නේ?

ඉතින් තව දෙන්නෙක් තුන්දෙනෙක් අයින් වුණා නම් ඉවරනේ.

ඒ කියන්නේ තව ඉන්නවද අයින් වෙන්න ඕන කට්ටිය?

දැන් ඕකේ නම් සඳහන් අය ඉන්නවානේ තව. දැන් රවී කරුණානායක මහත්තයම කිව්වනේ මලික් සමරවික්‍රමයි, කබීර් හෂීම් එක්කයි සාකච්ඡා කරලා ඒකේ ප්‍රතිඵලයක් හැටියටයි බිලියන 75 දින රහිත ලියුම ඇරියේ කියලා. එතකොට කෝප් කමිටුවෙත් හෙළිවුණානේ මේ වැඩේ වෙන්න කලින් සාකච්ඡාවක් මුල්‍ය මණ්ඩලයේදී කට්ටිය එකතු වෙලා තිබ්බා කියලා. මේ සාක්ෂි දෙක අතර සම්බන්ධයක් තියෙනවා නේ. එහෙම නැත්තන් ඔය නම් තියෙන අය ස්වේච්ඡාවෙන් ඇවිත් කොමිසමට ප්‍රකාශයක් දෙන්න ඕන.

මහින්ද මහත්තයා පිහිනුම්තටාකෙ හදපු නිසාෙන් වික්කෙ

රාජිත ඇමැතිතුමා නම් කැබිනට් එකේ කියලා තියෙන්නේ කොමිසම හොයන්නේ බැඳුම්කර වංචාව නෙමෙයි ගෙවල් කුලී කියලනේ?

තමන් දන්න විෂය පථය කතා කරන්න එපැයි. නීතිඥයන්ගේ දේවල් දොස්තරලා කතා කරලා හරියන්නේ නෑනේ. මේ පටලැවිල්ල වෙලා තියෙන්නේ ඒකනේ.

මේ සිද්ධියත් එක්ක රවී කරුණානායක ඇමැතිවරයාගේ ඉඳලා මන්ත්‍රීවරු දක්වා නීතිපති දෙපාර්තුමේන්තුව විවේචනය කරන්න අරගෙන තියෙනවා. ඇත්තටම නීතිපති දෙපාර්තුමේන්තුව පක්ෂග්‍රාහීද?

ඔය නොහැකියාවයි, නොදන්නාකමයි ප්‍රදර්ශනය කිරීමක්. නොකළ යුතු දෙයක්. මිනී මැරැම්, දුෂණ නඩු මෙහෙයවන්නේ රජයේ නීතඥයෝ. මිනීමරපු එකා පාතාලයෙක් නම් ඌට පුළුවන්නේ උද්ඝෝෂණ තියන්න ඔය වගේ. මේ කරන්නෙත් ඔය වගේ වැඩක්. මෙතන ප්‍රශ්නය තියෙන්නේ තනි තනි මිනිස්සුද නැත්‍තන් මුළු පක්ෂයක්ම මේකට සම්බන්ධද කියලා. ඔය කොමිසම පත් කළේ කවුද? ජනාධිපති.

හැබැයි එජාපය කියන්නේ ගිය ආණ්ඩුවේ ඒවා හොයන්නේ නැතුව මේ ආණ්ඩුවේ දේවල් හොයනවා කියලා?

ආණ්ඩුවේ ඉන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයද? එයාලගේ අගමැති එයාලගේ ආණ්ඩුවනේ මේ. ආයතනත් එයාලගේ නේ.

එජාපය මේ කලකිරීම නිසාම දෙසැම්බර් මාසයේ තීරණයක් ගන්නවා කියනවා?

ඇයි දෙසැම්බර් මාසය ඉවර වෙනකල් ඉන්නේ. කොමිසම ඉවර කරලා හැමෝටම නඩු පවරන කල්ද?

ශ්‍රිලනිපයේ ඉවත් වෙන මන්ත්‍රීවරු කියලා තියෙනවා ස්වාධීනව වාඩිවෙනවා කියලා. ඇයි බොරු කරන්නේ?

නෑ... නෑ... ස්වාධීන වෙනවා කියලා නෑ. මේ ඔක්කොම ශ්‍රිලනිපයේ මන්ත්‍රීවරුනේ. මේ මන්ත්‍රීවරුන්ටත් පුළුවන් සන්ධානයේ තවත් එක් කණ්ඩායමක් ලෙස ස්වාධීනව කටයුතු කරන්න.

ඇත්තද මේ හැමදේම කරන්නේ මහින්ද රාජපක්ෂ කියන්නේ?

නෑ එහෙමම කියන්න බෑ. සමහර මත තියෙනවා සීයට සීයක්ම එකඟ නොවන. දැන් ජනතාව ඉස්සේල්ලා ආණ්ඩුව එපා කියන්න හේතුවක් තිබ්බනේ. ඒ හේතුවත් නැතිකරගෙන අපි එන්න එපැයි.

ළඟදිම ආණ්ඩුවෙන් යන කට්ටිය එකතුවෙයි එහෙනම්?

ඒක ඉතින් මේ යන විදිහට ඉක්මනට වෙනවා.

ඔය ප්‍රශ්න ඔබලා කිව්වට මහින්ද අමරවීරත්, දුමින්ද දිසානායකත් කියන්නේ එහෙම අවුලක් නෑ කියලනේ?

ඒ අය ළඟදිනේ තනතුරු ගත්තේ. කාලයක් යනකොට තේරෙයි ඒ අයටත්.

දැන් මොකද හිතෙන්නේ ඉස්සෙල්ලා ආණ්ඩුවද හොඳ මේ ආණ්ඩුවද?

හොඳ කියන එක නෙමෙයි මතය. පොළට ගියහම, කඩේට ගියහම, දුම්රියපළට ගියහම කියන දේවල් ඇහෙනවානේ. මේ අවුරුදු දෙකහමාර ගැන මිනිස්සුන්ට තියෙන්නේ පසුතැවිල්ලක්.


ගයාන් ගාල්ලගේ