සමාජ රෝගයක් කියා බය හිතෙන අමුතු ලෙඩක්

පුරුෂයන්ගේ ලිංගේන්ද්‍රිය ආශ්‍රිතව හටගන්නා රෝග අතරින් වෘෂණ ආශ්‍රිත රෝග ගැන අපි පහුගිය සති කිහිපයක් කතා කළා. දැන් අපි හොයා බලන්නේ ශිෂ්නය ආශ්‍රිතව හටගන්නා රෝග කිහිපයක් ගැනයි. අද කතා කරන්න යන ලෙඩේ හැදුනාම හුඟාක් අයගේ ගෙවල්වලත් අවුල් ඇතිවෙනවා. මොකද දෙන්නාට දෙන්නා සැක කරන්න ගන්නවා. ස්වාමියා හිතනවා තමන්ගේ බිරිය වෙන කෙනෙක් එක්ක ඉඳලා ජරා ලෙඩක් හදාන දැන් තමන්ටත් ඒක හැදිලා කියලා. භාර්යාව හිතනවා තමන්ගේ මනුස්සයා වෙන කොහේවත් යන කෙනෙක් එක්ක ලැගලා ඇවිත් කියලා. මෙහෙම සැක කරලා දෙන්න දෙමාල්ලෝ අවුල් වෙනවා. නමුත් ලෙඩේට හේතුව වෙනම එකක්.

අද කතා කරන රෝගය ශිෂ්ණයේ ඉදිරි කෙළවර හිස, නැතිනම් ශිෂ්ණ මුණ්ඩය වණවීමයි. එය හඳුන්වන්නේ බැලනයිටිස් (Balanitis) කියලයි. මේ අවස්ථාවේදී පෙරසම තියෙන අයගේ ඒ ස්ථානයත් ඉරිතලලා සුදු පැහැවෙලා තියෙන්න පුළුවනි. මේ විදියට ශිෂ්ණ මුණ්ඩය සහ පෙරසම ආසාදනය වීමේ තත්ත්වය ප්‍රමුඛව ඇතිවන්නේ දියවැඩියා රෝග ලක්ෂණයක් හැටියටයි.

දියවැඩියාවේදී මුත්‍රා සමග සීනි පිටවන බව ප්‍රසිද්ධයිනේ. මේ විදියට සීනි සහිත මුත්‍රා පෙරසම තුළ එකතුවීම නිසා එතැන විෂබීජවලට ලෙහෙසියෙන්ම වර්ධනය විය හැකියි. එවිට ශිෂ්ණ මුණ්ඩය වනවීමත් පෙරසම ආසාදනයට ලක්වීමත් සිදුවෙනවා. ඔන්න ඔය වෙලාවට බොහෝ දෙනා හිතන්නේ තමන්ට සමාජ රෝගයක් වැළඳිලා කියලයි. ගෙදර ප්‍රශ්න හටගන්නේ එතකොටයි. මේ ආසාදනයට බොහෝ වෙලාවට හේතුව වන්නේ මොනීලියස් නැත්නම් කැන්ඩීඩා කියන දිලීරය මගින් සිදුකරන ආසාදනයයි. ඒක බහුල දියවැඩියා රෝගීන්ගේ. මේ නිසා මෙබඳු රෝග ලක්ෂණයක් ඇතිවීමට කළ යුත්තේ වෛද්‍යවරයා හමුවෙලා දියවැඩියාව සඳහා රුධිර පරීක්ෂණයක් කරගන්නා එකයි.

දියවැඩියා තත්ත්වය හැරෙන්න තවත් හේතු කිහිපයක් නිසාත් ඔය ආකාරයට වණවීම් සිදුවෙන්න පුළුවනි.

ප්‍රධානම එක තමයි අපිරිසුදුකම. පෞද්ගලික පිරිසුදුකම ගැන නොසැලකිලිමත් අයගෙත් විෂබීජ තැන්පත්වීම නිසා මේ විදියට වණවීම් සිදුවෙනවා. නානවිට පෙරසම ඇදලා ශිෂ්ණ මුණ්ඩය පිරිසුදු කළ යුතු බව අමතක නොකළ යුතු දෙයක්. මුත්‍රා කළ පසුවත් එසේ පිරිසුදු කිරීම වරදක් නැහැනේ.

තවත් කාරණයක් තමා ලිංගික සංසර්ගයේදී භාවිතා කරන කොණ්ඩම. මේවායේ අන්තර්ගත ශුක්‍ර නාශක රසායන ද්‍රව්‍ය නිසා ආසාදන ඇතිවිය හැකියි.

වැඩි පිරිසුදුකමත් ලෙඩක්. නිතර නිතර දවසට කිහිප වතාවක් සබන් යොදා මේ ප්‍රදේශය පිරිසුදු කරන විට සබන්වලට ඇති අසාත්මිකතාව හේතුවෙන් වණවීම් හටගන්න පුළුවනි.

සමහරුන්ගේ පෙරසම පිටුපසට යන්නේ නෑ. මේ නිසා පෙරසම සහ ශිෂ්ණ මුණ්ඩය අතර ප්‍රදේශයේ ස්ටැග්මා ලෙස හඳුන්වන ශ්‍රාවයක් එකතුවෙනවා. මේ ශ්‍රාවයන් මිදී ඒවාට විෂබීජ එකතුවීමෙන් වණවීම් හටගන්න පුළුවනි. සමහරවිට මේ ශ්‍රාවය එකතුවෙලා කැටිති හැටියට ගොනුවෙලා පිටතින් බලනවිට ගෙඩි වගේ ගැටිති වගේ පේන්න ගන්න අවස්ථාත් තියෙනවා.

මේවගේ රෝග ලක්ෂණ ඇති වෙලාවට බොරුවට ලජ්ජා වෙලා හැංගිලා වැඩක් නෑ. මේවා ස්වභාවික තත්ත්ව. ඒ නිසා තමන්ගේ පවුලේ වෛද්‍යවරයා නැතිනම් සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක් හමුවුණාම ඔවුන් ඒ සඳහා ප්‍රතිජීවක හෝ දිලීර නාශක ඖෂධ මගින් ප්‍රතිකාර කරාවි. අසාත්මිකතාවක් නම් එයින් වැලකීමට උපදෙස් දේවි. පෙරසම පිටුපසට නොයෑමේ තත්ත්වය ඇතිවිට බොහෝවිට චර්ම ඡේදන (Circumcision) සැත්කම සිදුකරගැනීමට සිදුවේවි. සැකයට ඉඩ නොදී පවුල් අවුල් කර නොගෙන නිසි වෛද්‍ය ප්‍රතිකාර සොයායාමෙන් මේ රෝග බොහෝමයකින් වැලකීමට හැකි බව නැවතත් සිහි තබාගත යුතුයි.

 සුගත්