විදේශ ශ්‍රමිකයන් ගේන මුදල්වලට කිසිදු බද්දක් නැහැ

යෝජිත නව ආදායම් බදු පනත මගින් විදේශගත ශ්‍රමිකයන් ශ්‍රී ලංකාවට සම්ප්‍රේෂණය කරන මුදල් මත කිසිදු බද්දක් අය නොකරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න පවසයි.

අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේ, යෝජිත නව ආදායම් බදු පනත පිළිබඳව 'බීබීසි සිංහල සේවය' සමග සජීව ෆේස්බුක් සාකච්ඡාවකට සහභාගි වෙමිනි.

නව ආදායම් බදු පනතින් විදේශගත ශ්‍රමිකයන් ලංකාවට එවන මුදල් මත බද්දක් පැනවීමේ යෝජනාවක් තිබෙන බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති පසුගියදා මාධ්‍ය හමුවමක් අමතමින් කියා සිටියේය.

"මේ බදු පනතේ විශේෂයෙන් සඳහන් කරලා තිබෙනවා වෘත්තිකයින් ඔවුන් උපයන ආදායම මත බදු අයකරගත යුතුයි කියලා. යුරෝපයේ බොහෝ රටවල අපේ රටේ වෘත්තිකයින් විශාල ප්‍රමාණයක් සේවය කරනවා. ඔවුන්ට බදු සහන දීලා දිරි ගන්වනවා වෙනුවට ඔවුන් අධෛර්යයට පත්කරන බදු පනවන්න ආණ්ඩුව කටයුතු කර තිබෙනවා," යනුවෙන් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා සඳහන් කළේය.

පෙර පරිදිමයි - වෙනසක් නැහැ :

එහෙත් මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න පවසන්නේ වර්තමානයේ විදේශ ශ්‍රමිකයන් ශ්‍රී ලංකාවට මුදල් සම්ප්‍රේෂණය කරන ආකාරයටම ඉදිරියේදීද මුදල් සම්ප්‍රේෂණය කළ හැකි බවය.

නව පනත මගින් විදේශ ශ්‍රමිකයන්ගෙන් කිසිදු නව බද්දක් අය නොකෙරෙන බව අමාත්‍යවරයා අවධාරණය කරයි.

"විදේශ ශ්‍රමිකයන් මාස් පතා ඒගොල්ලන්ගේ නිවසේ අයට. දරුවන්ට අම්මල තාත්තලට බලාගන්න එවන මුදල්වල කිසිම වෙනසක් වෙන්නේ නැහැ. දැන් පවතින ක්‍රමයම තමයි මේ ආදායම් බදු පනතින් පස්සෙත් තියෙන්නේ," මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න පැවසීය.

EPF /ETF අරමුදල් :

පෞද්ගලික හා අර්ධ රාජ්‍ය ආයතන වල විශ්‍රාම වැටුප් අහිමි සේවකයන්ට හිමි අරමුදල් EPF /ETF අරමුදලෙන් විශේෂ බදු මුදල් අයකිරීමේ උත්සාහයක් ඇති බවට එල්ලවන විවේචනවලට පිළිතුරු දුන් අමාත්‍ය එරාන් වික්‍රමරත්න, ලක්ෂ 100,200,300ක් වැනි මුදලක් මෙම අරමුදලින් ලබාගන්නා අයගෙන් යම් බදු මුදලක් අය කරගන්නවාද යන්න ගැන යම් සාකච්ඡාවක් සිදුවෙමින් පවතින බව සඳහන් කළේය.

"සාමාන්‍ය පරිමාණයේ කාටවත් කිසිම බද්දක් නැහැ. සාකච්ඡාව තිබිල තියෙන්නේ හුඟාක් විශාල වශයෙන් මුදල් ලැබෙනවානම්, සමාජ සාධාරණතාව ගැන. මොකද රුපියල් 20,000 ක් මාසෙට ගන්න අය ඉන්නවා. ලක්ෂ 2ක් ගන්න අය ඉන්නවා. මාසෙට ලක්ෂ 200ක් ගන්න අයත් ඉන්නවා."

එලෙස බදු පැනවිය යුතු මුදලක් පිළිබඳව මෙතෙක් අවසාන තීරණයකට එළැඹි නොමැති බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

දශක ගනනාවක් පැරණි බදු පනතක්:

දැනට ශ්‍රී ලංකාවේ පවතින්නේ දශක ගනනාවක් පැරණි ආදායම් බදු පනතක් බව පෙන්වාදෙන මුදල් රාජ්‍ය අමාත්‍යවරයා, වර්තමානයට ගැලපෙන ආකරයට නව පනත සකස් කර ඇති බව ද පැවසීය.

"දේශපාලකයන්ට ගන්න පුළුවන් තීරණ අඩුකරලා තියෙනවා. දෙන නොදෙන දේවල් සියල්ල පනතේ පැහැදිලිව සටහන් වෙලා තියෙනවා."

අනික් රටවල් සමග සංසන්දනය කිරීමේදී ශ්‍රී ලංකාවේ බදු ගෙවන පුද්ගලයන් ඉතා අඩු බව පෙන්වාදෙන ඔහු, වැඩි ආදායම් ලබන බදු ගෙවිය යුතු පුද්ගලයන්ගෙන් බදු ලබාගැනීමට කටයුතු කළ යුතු බව අවධාරණය කළේය.


(බීබීසී සිංහල සේවය)