විජයදාස අස්‌කරන්න - අගමැති, ජනපතිට කියයි

එජාප මන්ත්‍රීවරයකු වන අධිකරණ හා බුද්ධ ශාසන ඇමැති විජයදාස රාජපක්‍ෂ මහතා එම ධුරයෙන් ඉවත් කිරීමට තම පක්ෂය තීරණය කල බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (21) රාත්‍රී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට දැනුම් දී තිබේ.

ඒ අනුව, අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා සම්බන්දයෙන් තීරණයක් ගැනීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ හමුවක් අද (22) උදෑසන පැවැත්වේ.

දේශපාලන ආරංචිමාර්ග සඳහන් කළේ ඊයේ පැවති එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී සාකච්ඡා කෙරුණු කරුණු පිළිබඳව මෙහිදී අවදානය යොමුවනු ඇති බවයි.

අගමැති ගෙන් සහතිකයක් :

විජයදාස රාජපක්‍ෂ මහතා අස්‌කිරීම සම්බන්ධව එජාපය ගත් තීරණය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමු වී දැනුම් දෙන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ආණ්‌ඩු පක්‍ෂ එජාප මැති ඇමැතිවරුන් හමුවේ ඊයේ (21) සවස ප්‍රකාශ කර තිබිණ.

විජයදාස රාජපක්‍ෂ මහතාට එම ධුරයෙන් ඉවත් වීමට එජාපය ඊයේ (21) තෙක්‌ කල් දී තිබූ නමුත් රාජපක්‍ෂ මහතා ඉල්ලා අස්‌ නොවුණු හෙයින් ඒ මහතා ඉවත් කිරීමට අදාළ ලිපියක්‌ ද අගමැති විසින් අද උදැසන ජනාධිපතිවරයා වෙත භාර දෙනු ඇතැයි ආණ්‌ඩු පක්‍ෂ මන්ත්‍රීවරයෙක්‌ පැවසීය.

ඒ අනුව අද (22 වැනිදා) දිනය ඇතුළත විජයදාස රාජපක්‍ෂ මහතාට ඇමැති ධුරයෙන් ඉල්ලා අස්‌වීමට සිදුවනු ඇතැයි ද ඉහත මන්ත්‍රීවරයා වැඩි දුරටත් පැවසීය.

එජාප තීරණයේ වෙනසක්‌ නෑ:

ආණ්‌ඩු පක්‍ෂයේ එජාප මැති ඇමැතිවරු කණ්‌ඩායම අරලියගහ මන්දිරයේදී ඊයේ (21 වැනිදා) සවස හමු වූ අවස්‌ථාවේදී අගමැතිවරයා මේ බව එම මන්ත්‍රී කණ්‌ඩායම හමුවේ පවසා ඇත.

මෙම රැස්‌වීම සඳහා ඇමැති විජයදාස රාජපක්‍ෂ මහතා සහභාගි නොවීමද විශේෂත්වයකි.

විජයදාස රාජපක්‌ෂ මහතා අධිකරණ ඇමැති ධුරයෙන් වහාම ඉල්ලා අස්‌විය යුතු බවට එක්‌සත් ජාතික පක්‌ෂය දරන තීරණයේ කිසිදු වෙනසක්‌ නැතැයි එක්‌සත් ජාතික පක්‌ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්‌ඩාර මහතාඅවධාරණය කර සිටියේය.