ටජ්මහල පරදවා ශ්‍රී දළදා මාලිගාව ලෝකයෙන්ම මුල්තැනට

ජාත්‍යන්තර සංචාරක ශ්‍රේණිගත කිරීමේදී එකසිය හැත්තෑ තුන්වැනි ස්ථානයේ පැවැති ශ්‍රී දළදා මාලිගාව එම ශ්‍රේණිගත කිරීමේ ප්‍රථම ස්ථානයට මේ වන විට පත්ව ඇතැයි දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ප්‍රකාශ කරයි.

ශ්‍රේණිගත කිරීමෙන් ඉන්දියාවේ ටජ්මහල පවා අභිබවා යෑමට හැකියාව ලැබුණේ පරිපාලනය මෙන්ම තොරතුරු තාක්ෂණය භාවිතා කිරීම හේතුවෙන් බවද ඒ මහතා පෙන්වා දුන්නේය.

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ තොරතුරු තාක්ෂණික ව්‍යාපෘතිය සදහා ආධාර ලබාදීමේ වැඩසටහන ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් ආයතනයේ සභාපති කුමාරසිංහ සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (03) ශ්‍රී දළදා මාලිගාවේ රන් ආයුධ මණ්ඩපයේදී සිදුකෙරිණි.

දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා වෙත රුපියල් මිලියන දහයකින් යුත් එහි මූල්‍ය අනුග්‍රාහක ගිවිසුම ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් ආයතනයේ සභාපති කුමාරසිංහ සිරිසේන මහතා විසින් භාරදෙනු ලැබීය.

ශ්‍රී දළදා මාලිගාවට සිය නිල වෙබ් අඩවියේ හිමිකාරිත්වයක් නොතිබුණු යුගය වෙනුවට එවකට පැවැති ජනප්‍රිය වෙබ් අඩවි පරදා අද වැඩිම ප්‍රේක්ෂක සංඛ්‍යාවක් නරඹන වෙබ් අඩවිය බවට මෙය පත්ව ඇතැයි දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑළ මහතා පැවසී ය.

තිලෝගුරු බුදුරජාණන් වහන්සේගේ ධර්මය ප්‍රචාරය කිරීමේදී ශ්‍රී දළදා මාලිගාව වැඩි දායකත්වයක් උසුලන බවත්, එහිදී නව තාක්ෂණය වැඩිවශයෙන් උපකාර කරගන්නා බවද ඒ මහතා සදහන් කළේය.