SF ලොක්කාගේ කප්පම් සෙල්ලම් හෙළිවෙයි

සුඛෝපභෝගී මෝටර් රථයක් පැහැර ගැනීමේ සිද්ධියකට අත්අඩංගුවට පත්වූ කරාතේ ශූර වසන්ත සොයිසා ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරු වන එස්. එෆ්. ලොක්කා අනුරාධපුර නගරයේ වෙළෙඳසල්වලින් කප්පම් ගැනීමේ ක්‍රියාවලියක නිරතව සිටින බවට පොලිස් බුද්ධි අංශ වෙත තොරතුරු ලැබී තිබේ.

පාතාලයේ නමක් දිනා ගැනීමට විවිධ අපරාධ සහ උපක්‍රම යොදවමින් සිටින එස්. එෆ්. ලොක්කාට විරුද්ධව පැමිණිලි කිරීමටද වෙළෙඳසල් හිමියන් බිය වී ඇති බව පොලිස් බුද්ධි අංශ සඳහන් කරයි.

මොහුගේ කප්පම් ගැනීම් පිළිබඳව පැමිණිලි කරන ලෙසට අනුරාධපුර මූලස්ථාන පොලිසියේ නිලධාරීන් වෙළෙඳසල් හිමිකරුවන්ට දැනුම් දී තිබුණද මෙතෙක් කිසිවකු ඔහුට විරුද්ධව පැමිණිලි ඉදිරිපත් කිරීමට පොලිස් ස්ථානය වෙත පැමිණ නැති බවද උසස් පොලිස් නිලධාරියෙක් 'මව්බිම'ට පැවසීය. ලීසිං වාරික නොගෙවීම මත අදාළ මූල්‍ය ආයතනයේ නිලධාරීන් විසින් සිය භාරයට ගත් සුඛෝපභෝගී මෝටර් රථයක් කොළඹ බලා රැගෙන එමින් සිටියදී එස්. එෆ්. ලොක්කා සහ ඔහුගේ ගෝලබාලයන් දෙදෙනකු එම රථය ඉකුත් 21 වැනිදා පැහැර ගනු ලැබීය.

ඒ සම්බන්ධයෙන් පෙරේදා (26දා) අනුරාධපුර මූලස්ථාන පොලිසියේ නිලධාරීන් විසින් සිදු කළ විශේෂ මෙහෙයුමකින් අනතුරුව එස්. එෆ්. ලොක්කාව අත්අඩංගුවට ගැනුණි. සැකකරු හමුදා විශේෂ බළකායේ සේවයේ නියතුව සිට ඉන් පලාවිත් පාතාලයට සම්බන්ධ වී දිවයිනේ ප්‍රසිද්ධ පාතාල නායකයන් සමඟ එක්වී බයිසිකල් බේබි, ප්‍රියන්ත, බ්ම් යන අනුවර්ත නාම භාවිත කරමින් පුද්ගල ඝාතන 24කට වඩා සිදුකර ඇති බව පොලිසිය පවසයි.