මහින්දානන්දගෙන් රන්ජන්ට පිළිතුරක්‌

එංගලන්තයේ නිවසක්‌ මිලට ගෙන තිබෙන්නේ තම සහෝදරයා විසින් බව එජනිස මහනුවර දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී හිටපු ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඊයේ (07 දා) පාර්ලිමේන්තුවේදී කීවේය.නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයකට පැහැදිලි කිරීමක්‌ කළ අලුත්ගමගේ මහතා මෙසේ ද කීය.

මගේ වත්කම් බැරකම් ප්‍රකාශය 2009 දී ඉදිරිපත් කර තිබෙනවා. එහි සියල්ල තිබෙනවා. ජපානයේ සිටිනවා මගේ සොහොයුරෙක්‌ විජයානන්ද අලුත්ගමගේ. ඔහු එංගලන්තයේ නිවසක්‌ අරන් තිබෙනවා. මේ ගැන රහස්‌ පොලිසිය පරීක්‍ෂණ කළා. අල්ලස්‌ කොමිසමත් පරීක්‍ෂණ කරලා නිදහස්‌ කළා.

මගේ සහෝදරයා ජපානයේ සිට දේපළ මිලට ගත් අයුරු නීතිපතිවරයාට පෙන්වා සිටියා. ඉන් පස්‌සේ නීතිsපතිවරයා මට අධිචෝදනා ගොනු කළා. වෘත්තීය සමිතිවල ලක්‍ෂ 39 ක්‌ සල්ලි අරගත්තා කියලා. ආණ්‌ඩුවට විරුද්ධව කතා කළොත් හොරු. මම රන්ජන් රාමනායක මහතාට කියනවා අගමැතිට ඇමැතිවරුන්ට විරුද්ධව කතා කරන්න තරම් කොන්දක්‌ ඔහුට තිබිය යුතුයි කියා. මහනුවර ප්‍රදේශයේ වංචා රැසක්‌ සිදුකර තිබෙනවා. ඒ ගැන කතා කරන්නේ නෑ. මූල්‍ය අපරාධ කොට්‌ඨාසය මේ දවස්‌වල මහින්දානන්ද හදපු පිට්‌ටනි ටික මනිනවා. පාපන්දු, රගර්, නෙට්‌බෝල් සංගම් එෆ්. සී. අයි. ඩී. යට කැඳවනවා. මම දුන්නු බෝල ගැන පරීක්‍ෂණ කරනවා. මොකක්‌ද මේ ආණ්‌ඩුව. මම ව්‍යාපාරිකයෙක්‌. මගේ ව්‍යාපාරවලින් හම්බකරගත් දේපළ තියෙනවා. මේ ආණ්‌ඩුවේ අය අමු දවල් බිලියන ගණන් හොරකම් කරනවා. ඒවා සොයන්නේ නෑ. මගේ වත්කම් බැරකම් ප්‍රකාශයේ නැති දේ තියෙනවා නම් දඬුවම් දෙන්න. ඒත් මේ වගේ දෙකේ පන්තියේ වැඩ කරන්න එපා කියා කියනවා.