එස්‌.එෆ්. ලොක්‌කා අත්අඩංගුවට

ගිනස්‌ වාර්තා තැබූ කරාටේ වසන්ත ඝාතනය කිරීම, කප්පම් ගැනීම ඇතුළු විවිධ අපරාධවල නිරතවෙමින් මුළු අනුරාධපුරයම භීතියට පත් කර ගෙන සිටින එස්‌. එෆ්. ලොක්‌කා නමැති පාතාල නායකයා අනුරාධපුර පොලිසිය මගින් ඊයේ (26 වැනිදා) දහවල් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම පාතාල මැරයා වෑන් රථයක්‌ පදවාගෙන යමින් සිටියදී මගරැක සිටි අනුරාධපුර පොලිසියේ නිලධාරීන් කණ්‌ඩායමක්‌ විසින් දහයියාගම හන්දියේදී අත්අඩංගුවට ගෙන ඇත්තේ අත්බෝම්බයක්‌ ද සමගය.

කල්බදු නොගෙවූ ජීප් රථයක්‌ සීසර්වරුන් විසින් ඉකුත් 21 වැනිදා රැගෙන යද්දී අනුරාධපුර නගර මධ්‍යයේ ඔවුන් නතර කළ එස්‌. එෆ්. ලොක්‌කා ඔවුන්ට තර්ජනය කර එම ජීප් රථය පැහැරගෙන ගොස්‌ තිබිණි.

මේ සම්බන්ධයෙන් අනුරාධපුර පොලිසියට ලැබුණු පැමිණිල්ලක්‌ අනුව කළ විමර්ශනවලදී සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව පොලිසිය පවසයි.

එස්‌. එෆ්. ලොක්‌කා විසින් පැහැරගත් ජීප් රථය ද පොලිසිය සොයාගත් අතර එම පැහැර ගැනීමට මොහු පාතාල මැරයන් සමග පැමිණි වෑන් රථය ද ඊයේ පොලිස්‌ භාරයට ගන්නා ලදී.

ගිනස්‌ වාර්තාලාභියකු මෙන්ම අනුරාධපුර පැනොරාමා හෝටලයේ හිමිකරු වූ කරාටේ වසන්ත ඝාතන සිද්ධියෙන් පසු අත්අඩංගුවට පත්වූ එස්‌. එෆ්. ලොක්‌කා වසර දෙකකට ආසන්න කාලයක්‌ රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමෙන් පසු පසුගියදා ඇප මත මුදාහැර තිබිණි.

ඇප මත මුදා හැරීමෙන් පසු අනුරාධපුරයට පැමිණි එස්‌. එෆ්. ලොක්‌කා තම පාතාල මැර කල්ලිය සමග එක්‌ව අනුරාධපුරයේ ව්‍යාපාරිකයන්ගෙන් සහ ධනවත් පුද්ගලයන්ගෙන් කප්පම් ලබා ගැනීමට පටන් ගෙන තිබූ බවට පොලිසියට තොරතුරු ලැබී ඇත.

එස්‌. එෆ්. ලොක්‌කා නමින් ප්‍රසිද්ධව සිටියද පාතාල නායකයා යුද හමුදා විශේෂ බළකායට සේවය කළ සෙබළෙකු නොවන බව පොලිසිය පවසයි. මොහු වසර කීපයක්‌ ජාතික ආරක්‍ෂක බලමුළුවේ සේවය කළ අයකු බවද පොලිස්‌ පරීක්‍ෂණවලින් හෙළි වී තිබේ.

සැකකරු අද (27 දා) අධිකරණය වෙත ඉදිරිපත් කිsරීමට නියමිතය.

අනුරාධපුර නියෝජ්‍ය පොලිස්‌පති සෙනරත් සඳුන්ගහවත්ත, සහකාර පොලිස්‌ අධිකාරී චූලනී පී. වීරරත්න මහත්වරුන්ගේ උපදෙස්‌ මත අනුරාධපුර මූලස්‌ථාන ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක සංජීව මහානාම මහතාගේ මෙහෙයවීමෙන් ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක කුමාරසේන ඇතුළු නිලධාරීහු පරීක්‍ෂණ පැවැත්වූහ.