වැඩිහිටියන්ට ගෙවන රු. 2,000ටත් කෙළී

වයස අවුරුදු 70 ඉක්ම වූ අඩු ආදායම්ලාභී වැඩිහිටියන් වෙනුවෙන් ගෙවනු ලබන රුපියල් 2,000 මාසික දීමනාව අහෝසි කිරීමට සමාජ සවිබල ගැන්වීම් හා සුබසාධන අමාත්‍යාංශයේ ලේකම්වරයා පියවර ගෙන ඇති බව විශ්‍රාම වැටුප් සුරැකීමේ සේවක මධ්‍යස්ථානය කියයි.
අමාත්‍යාංශ ලේකම්වරයාගේ අස්සනින් නිකුත් කර ඇති 1/2016 දරන චක්‍රලේඛය මඟින් මේ පියවර ගෙන ඇතැයි එම මධ්‍යස්ථානයේ ජාතික සංවිධායක ජනක තුෂාර මහතා නිවේදනයක් නිකුත් කරමින් මේ ක්‍රියාව හෙළා දැක ඇත.

මානුෂීය හේතූන් සැලකිල්ලට ගෙන, ග්‍රාම නිලධාරිවරුන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු අදාළ නිලධාරින් මෙම චක්‍රලේඛය 2016 වර්ෂයේදී ක්‍රියාත්මක කිරීමෙන් වැළකී සිටි නමුත් තවදුරටත් චක්‍රලේඛය ක්‍රියාත්මක නොකරන්නේ ඔවුන්ට එරෙහිව නීති මඟින් කටයුතු කරන බවට ආණ්ඩුව තර්ජනය කර තිබෙන නිසා බව පෙන්වා දෙන ජනක කුමාර මහතා මේ නිසා 2017 වසරේදී චක්‍රලේඛය ක්‍රියාත්මක කිරීමට සිදුවන බව එකී නිලධාරීන් පවසන බව කියයි.
රුපියල් 2,000 "වැඩිහිටි දීමනාව" වශයෙන් සඳහන් වුවද එම දීමනාවෙන්ද වැඩිහිටි සුබසාධනයට යැයි කියමින් රුපියල් 100ක් කපා ගන්නා බවද විශ්‍රාම වැටුප් සුරැකීමේ සේවක මධ්‍යස්ථානය පෙන්වා දෙයි.

මේ දීමනාව වැඩිකරන ලෙසත්, දීමනාව කප්පාදු කිරීම නතර කරන ලෙසත් එම සංවිධානය රජයට බලකර සිටී.