උපත් පාලන බලපෑම් කළ දොස්තර ගැන පරීක්ෂණ

දරු ප්‍රසූතියෙන් පසු මවුවරුන්ට උපත් පාලන සැත්කම් සිදු කිරීම සඳහා බලපෑම් කළ බව කියන වෛද්‍යවරිය රත්නපුර රෝහලේ සිට දඹුල්ල රෝහලට මාරුවීම් ලැබ පැමිණ ඇත්තේ මෙයට දෙසතියකට පමණ ඉහත දී බවත් ඇය රත්නපුර රෝහලේ සේවය කරන කාලය තුළදීත් මේ ආකාරයේ බලපෑම් මවුවරුන්ට සිදුකළේ ද යන්න පිළිබඳව ද පරීක්ෂණ සිදුකරන බවත් මධ්‍යම පළාත් සෞඛ්‍ය ඇමැති බන්දුල යාලේගම මහතා පවසයි.

දඹුල්ල රෝහලේ දරුවන් බිහි කළ මවුවරුන්ට ටිකට් කපා රෝහලින් පිටව යාමට නොදී ඔවුන්ට උපත් පාලන සැත්කම් සිදුකර ගන්නා ලෙස බලපෑම් කළ බවට අදාළ වෛද්‍යවරියට චෝදනා එල්ලවීමෙන් පසු මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ශාන්ති සමරසිංහ මහත්මියගේ මෙහෙයවීමෙන් මධ්‍යම රජයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ද සහාය ඇතිව පරීක්ෂණයක් ආරම්භ කර තිබෙන බව ද ඒ මහතා කීය. මධ්‍යම පළාත් සභා මාසික රැස්වීමෙන් අනතුරුව ඊයේ (07) පැවැති මාධ්‍ය හමුවක දී ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු කිරීමෙන් පසු වෛද්‍යවරිය වැරැදිකාරිය වුවහොත් ඒ සම්බන්ධයෙන් දඬුවම් ලබාදීමේ හැකියාව ඇත්තේ මධ්‍යම රජයට බව ද හෙතෙම අවධාරණය කළේය. උපත් පාලන සැත්කම් කළ යුත්තේ සැමියා හා බිරිඳ යන දෙදෙනාගේම කැමැත්ත මත බවත් ඒ සඳහා බලපෑම් කරන්නට කිසිදු වෛද්‍යවරයකුට නොහැකි බවත් කී ඒ මහතා මෙවැනි ක්‍රියා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ පවා අවධානයට පාත්‍රවිය යුතු බව ද පැවසුවේය. රාජ්‍ය නොවන සංවිධානයක් මේ පසුපස සිටියේ ද යන්න පිළිබඳව සාධාරණ සැකයක් මතුව තිබෙන බව ද ඒ මහතා කීය.

දරු ප්‍රසූතියකින් පසු දෙවැනි දරුවා බිහි කිරීමට පෙර යම් කාලසීමාවක් උපත් පාලනය කිරීම යෝග්‍ය බවට වෛද්‍යවරු නිර්දේශ කරන බවත්, උපත ලද දරුවාට අවශ්‍ය පෝෂණය නිසි ආකාරයෙන් ලබා ගැනීමට අවශ්‍ය පසුබිම සැකසීම එහි ප්‍රධාන අරමුණක් බවත් කී ඒ මහතා මේ සම්බන්ධව උපදේශන සේවාවන් පවත්වා මවුවරු දැනුවත් නොකර උපත් පාලනය සඳහා බලපෑම් කිරීම බරපතළ වරදක් බව ද යාලේගම මහතා කීවේය.

ස්ථිර උපත් පාලන සැත්කම් මෙන්ම තාවකාලික උපත් පාලන ක්‍රමද පවතින බවත් මේ සෑම උපත් පාලන ක්‍රමයක්ම ක්‍රියාත්මක කළ යුත්තේ අඹු සැමියන් ඒ සම්බන්ධව දැනුවත් කර බව ද ඒ මහතා කීය.