වෛද්‍යවරු විමල් පරීක්‍ෂා කරති

මැගසින් බන්ධනාගාරයේ "ඊ වාට්‌ටුවේ" උපවාසයේ නිරතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ආහාර නොගෙන දැඩි ලෙස රෝගාතුර වුවහොත් ඔහු බන්ධනාගාර රෝහලට රැගෙන යන බව බන්ධනාගාර මූලස්‌ථාන නිලධාරියෙක්‌ ඊයේ (23 වැනිදා) පැවැසීය.

වීරවංශ මන්ත්‍රීවරයා පෙරේදා (22 වැනිදා) පෙරවරුවේ සිට ආහාර හා ජලය ලබාගැනීමෙන් වැළකී සිටින බවත් වෛද්‍යවරුන් විසින් පැය 04 කට වරක්‌ ඔහු පරීක්‍ෂා කරන බවත් එම නිලධාරියා කීය.

ජලය හා ආහාර නොගැනී මෙන් වීරවංශ මහතා රෝගී තත්ත්වයට පත්වන බව පෙනී යන බවත් වෛද්‍යවරුන් විසින් ඔහුගේ තත්ත්වය පරීක්‍ෂා කර රෝහල් ගත කිරීමට නිර්දේශ කළහොත් බලහත්කාරයෙන් හෝ ඒ මහතා බන්ධනාගාර රෝහලට රැගෙන යැමට සිදුවන බවත් එම නිලධාරියා තවදුරටත් පැවසීය.