සයිටම් ප්‍රධානියා වෛද්‍යවරයෙක් නොවෙයි

සයිටම් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි ලෙස කටයුතු කරන රේණුක සමීර සේනාරත්න මහතා වෛද්‍යවරයෙක් ලෙස පෙනී සිටීමට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස ඉල්ලමින් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල විරෝධී මධ්‍යස්ථානයේ වෛද්‍යවරු ‍පොලිස් මූලස්ථානයට ඊයේ (22) පැමිණිලි කර තිබේ.

සයිටම් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි ලෙස කටයුතු කරන සමීර සේනාරත්න මහතා වෛද්‍යවරයකු ලෙස පෙනී සිටීම නීතිවිරෝධී බවත් වෛද්‍ය ආඥා පනත අනුව කිසිදු පුද්ගලයකුට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි නොවී වෛද්‍යවරයකු ලෙස කටයුතු කිරීමට හා පෙනී සිටීමට නොහැකි බවද එම වෛද්‍යවරුන් පෙන්වා දුන්හ.

ඒ හේතුවෙන් ඔහුට එරෙහිව වහාම නීතිමය පියවර ගන්නා ලෙස ඉල්ලමින් ‍පොලිස්පතිවරයාට පැමිණිලි කළ බව එම මධ්‍යස්ථානය පවසයි.

රජයේ වෛද්‍ය පීඨවල සේවය කරන ආචාර්යවරුන් රාජ්‍ය සේවා කාලය තුළ සයිටම් ආයතනයේ දේශන හා අධ්‍යයන කටයුතු සඳහා සහභාගි වන බවද ඔවුන් පෙන්වා දුන්නේය.

ඒ හේතුවෙන් ඔවුන්ට එරෙහිවද ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බව එම සංගමය අවධාරණය කරයි.

සමීර සේනාරත්න මහතා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ වෛද්‍යවරයකු ලෙස ලියාපදිංචි වී නොමැති බවද එම සභාව දැනුම් දෙයි.