දෙල්ගොඩ පංච පුද්ගල ඝාතනයේ විත්තිකරු ගස්‌

මීගහවත්ත, දෙල්ගොඩ මහවත්තේදී 2007 වර්ෂයේදී මැයි මස 28 වැනිදා රාත්‍රි එකම පවුලේ පස්‌ දෙනකු තියුණු ආයුධවලින් කපා කොටා ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරුවූ විත්තිකරුට ගම්පහ මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා ඊයේ (22 දා) මරණීය දණ්‌ඩනය නියම කළේය.

එම නිවසේ සිටි එවකට 12 හැවිරිදි දැරියක දූෂණය කිරීම සහ මිනී මැරීමට තැත් කිරීමේ චෝදනා දෙකට මරණ දඬුවම නියම වූ චූදිතට බරපතළ වැඩ ඇතිව වසර 30 ක සිරදඬුවමක්‌ද නියම විය. චෝදනා දෙකට රුපියල් 20000 ක දඩයක්‌ නියම වූ අතර දඩ මුදල් නොගෙවන්නේ නම් එක්‌ වසරක ලිහිල් සිර දඬුවමක්‌ නියම කෙරිණි. වින්දිත දැරියට රුපියල් ලක්‍ෂ පහක වන්දි මුදලක්‌ ගෙවීමටද නියම විය. වන්දි මුදල් නොගෙවන්නේ නම් තවත් වසර 02 ක ලිහිල් සිරදඬුවම් නියම කෙරුණි.

මිනීමැරීම ඇතුළු චෝදනා 08 ක්‌ යටතේ විත්තිකරුවන් දෙදෙනකුට නීතිපතිවරයා විසින් ගම්පහ මහාධිකරණයේ නඩු පවරා තිබුණි. ඉන් එක්‌ විත්තිකරුවකු එම සියලු චෝදනාවලින් නිදොස්‌ කොට නිදහස්‌ කරන ලෙසට ඊයේ නියම කළ මහාධිකරණ විනිසුරුවරයා එක්‌ විත්තිකරුවකු පමණක්‌ නඩු විභාගයේදී සියලු චෝදනාවලට වරදකරු කර මරණීය දණ්‌ඩනය නියම කළේය.

කරුණාරත්න වීරකෝන් මුදලිගේ තිලකරත්න (පියා) සෝලාංගආරච්චිගේ දොන් රම්‍යලතා, (මව) කේ. ඩබ්. දිල්ශාන් මධුවන්ත (පුතා), කේ. ඩබ්. සජිත් ලක්‌ෂාන් (පුතා) සහ එම පවුලේ මිත්තනියවූ සෝලංගආරච්චිගේ පබාවතී යන පස්‌ දෙනාගේ ඝාතනය සම්බන්ධයෙන් 42 හැවිරිදි දෙදරු පියකු වන වැලිවිට දොන් මහේෂ් ලසන්ත පෙරේරා, නමැති ත්‍රිරෝද රථ රියෑදුරුට මෙසේ මරණීය දණ්‌ඩනය නියම විය.

පළමු විත්තිකරු වූ මල්ලිකාආරච්චිලාගේ උපතිස්‌ස නමැති විත්තිකරු නිදොස්‌කොට නිදහස්‌ කෙරිණි. ඉඩම් ආරවුලක්‌ එම ඝාතනයට මුල්වී තිබූ බවත් මරණකරුවන් සහ විත්තිකරුවන් දෙල්ගොඩ මහවත්තේම පදිංචි ඥාතීන් බවටත් මහාධිකරණයේදී සඳහන් විය. ඝාතනයට අදාළ සැකකරුවන් දෙදෙනකු වූ එදිරිසිංහ ආරච්චිලාගේ උපසේන සහ එදිරිසිංහ ආරච්චිලාගේ අමරදාස යන අයියා මලෝ දෙදෙනා එම වකවානුවේදී පොලිස්‌ වෙඩි පහරින් මියගොස්‌ ඇති බවටත් මහාධිකරණයේදී සඳහන් විය.