පොල්තෙල් ආනයන බද්ද අඩුකෙරේ

වහාම ක්‍රියාත්මක වන පරිදි ආනයනික පොල්තෙල් සදහා පනවා ඇති විශේෂ වෙළෙද භාණ්ඩ බද්ද අඩු කිරිමට රජය තීරණය කර ඇත.

දේශීය වෙළෙද පොලේ පොල් මිළ ඉහළයාම පාලනය කිරීමේ අරමුණෙන් රජය මේ තීරණය ගෙන තිෙබ්. ඒ අනුව, මාස හතරකට අවශ්‍ය ඛාද්‍ය තෙල් මෙට්‍රික්ටොන් 40,000ක් පමණක් ආනයනය කිරීමට හැකි වන පරිදි විශේෂ භාණ්ඩ බද්ද සංශෝධනය කිරීම පිණිස වැවිලි කර්මාන්ත ඇමැති නවින් දිසානායක මහතා ඉදිරිපත් කළ යෝජනාව ඇමැති මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

මෙහිදී ආනයනය කෙරෙන පොල්තෙල් කිලෝග්‍රෑම් එකක් සදහා අය කෙරුණු රුපියල් 150 ක විශේෂ වෙළෙද භාණ්ඩ බද්ද රුපියල් 130 දක්වා රුපියල් විස්සකින් අඩු කෙරේ.එමෙන්ම ආනයනික පිරිසිදු නොකළ පාම් තෙල් සහ පොල්තෙල් කිලෝග්‍රෑම් එකක් සදහා අය කෙරුණු විශේෂ වෙළෙද භාණ්ඩ බද්දද රුපියල් 130 සිට රුපියල් 110 දක්වා අඩු කෙරෙනු ඇත.. පාම් මද හා පිරිපහදු කළ පාම් තෙල්වල විශේෂ භාණ්ඩ බද්ද කිලෝග්‍රෑම් එකකට 150/- සිට රුපියල් 130/- දක්වා අඩු කිරීමද මේ යටතේ සිදුවේ.

2016 වර්ෂයට සාපේක්ෂව 2017 වර්ෂයේ ජනවාරි - ‍අගෝස්තු කාල සීමාව තුළ 13.9%කින් පමණ දේශීය පොල් අස්වැන්න අඩු විය හැකි බව පොල් පර්යේෂණ ආයතනය විසින් පුරෝකථනය කර ඇති අතර ඒ හේතුවෙන් පොල් මිලෙහි තවදුරටත් ඉහළ යාමක් අපේක්ෂා කළ හැකි බව පෙනී ගොස් ඇත. එබැවින්, දේශීය පොල් තෙල් නිෂ්පාදනය සඳහා වන ගෙඩි පොල් ඉල්ලුම අඩු කිරීම මඟින් දේශීය වෙළෙඳ පොළෙහි පොල් මිල ඉහළයාම අවම කර පොල් වගාකරුවන්ට මෙන්ම පොල් ආශ්‍රිත නිෂ්පාදකයන්ටද හිතකර වන පරිදි දේශීය පොල් මිල ප්‍රශස්ත මට්ටමක පවත්වා ගැනීම පිණිස කෙ‍ටිකාලීන උපායමාර්ග ලෙස රජය මේ පියවර ගෙන ඇත.