විමල් ස්‌වාධීන වුණත් පක්‍ෂ නායක හිමිකම් නෑ

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුව තුළ ස්‌වාධීන වුවද ඔහුට පක්‍ෂ නායකයකුට හිමි වරප්‍රසාද ලැබෙන්නේ නැතැයි ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා ඊයේ (23දා) පැවසීය.

ඔහු පාර්ලිමේන්තුවට පත්වී සිටින්නේ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයට සම්බන්ධ පක්‍ෂයකින් නොවන බවත් සාමාන්‍ය අපේක්‌ෂකයකු ලෙස එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය යටතේ ඉදිරිපත් වීමෙන් බවත් ඇමැතිවරයා කියා සිටියේ ඊයේ (23දා) ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂ මූලස්‌ථානයේ පැවැති මාධ්‍ය හමුවකට එක්‌වෙමිනි.


ඒ මහතා වැඩිදුරටත් මෙසේද කීය.

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය සමඟ සන්ධාන ගතවී සිටින්නේ දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුත් මහජන එක්‌සත් පෙරමුණ, දේශ විමුක්‌ති පෙරමුණ සහ තොණ්‌ඩමන් මහතාගේ පක්‌ෂය පමණයි.

විමල් වීරවංශ මහතා පක්‌ෂ නායකයකු ලෙස සන්ධානයට එකතු වී නොමැති නිසා ඔහු පාර්ලිමේන්තුව තුළ ස්‌වාධීන වුවත් ඔහුට ලැබෙන්නේ චන්ද්‍රසිරි ගජධීර මන්ත්‍රීවරයාට ලැබී තිබෙන වරප්‍රසාද පමණයි.

විමල් වීරවංශ මහතා ස්‌වාධීන වීමට අදහස්‌ කර ඇත්තේ ඔහුට පක්‌ෂ නායකයෙක්‌ ලෙස පිළිගැනීමක්‌ සිදුවුවහොත් පාර්ලිමේන්තුව තුළ වැඩි කාලයක්‌ ලබාගෙන කතා කිරීමේ අවස්‌ථාව ලබාගැනීමට වෙන්න පුළුවන්. නමුත් ඔහු එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය යටතේ පත්වී සිටින නිසා ස්‌වාධීන වීම තුළ ඔහු සිටින ආසනයෙන් පිටුපස ආසනයට යාමට පවා සිදුවන්නත් පුළුවන්.

ඒ වගේම සයිටම් ආයතනයට නඩු දාන්න කියලා වාසුදේව නානයක්‌කාර මහතා ප්‍රකාශ කර තිබෙනවා. සයිටම් එක සඳහා අනුමැතිය ලබාදෙන විට වාසුදේව නානයක්‌කාර මහතා පසුගිය රජයේ කැබිනට්‌ මණ්‌ඩලයේ සිටියේ. එදා විරුද්ධ නොවී අද නඩු දාන්න කතා කරනවා. මේවා කාටද කියන්නේ.

සයිටම් ආයතනය ගැන වුණත් අධිකරණයට නියමිත ආකාරයෙන් කරුණු ඉදිරිපත් කළානම් නඩු තීන්දුව වෙනස්‌ කර ගන්න තිබුණා. ඒ දේ ඒ අය අතින් මඟහැරිලා තියෙනවා.

මම හරි එදා ඉදිරිපත් වුණානම් කියන්න කරුණු ඕන තරම් තියෙනවා.

මෙහිදී විදේශ රැකියා නියෝජ්‍ය ඇමැති මනුෂ නානායක්‌කාර මහතාද අදහස්‌ දැක්‌වීය.