තරුණකම රැකදෙන තෝර ශාකය


ලෙඩරෝග හැදුණ විට ඖෂධ මගින් සුවය ලබනවාට වඩා ලෙඩරෝග නොහැදෙන්නට ආහාරවලින් දිවිය සරුසාර කරගන්නේ කෙසේද යන්න අද ලෝකයේ නිරන්තර සාකච්ඡාවට බඳුන්ව ඇත්තකි. එනිසාම ස්වභාවික පරිසරයේ වැවෙන මිනිසාට හිතකර ඖෂධීය ශාකයනට විශාල ඉල්ලුමක් ගොඩනැගෙමින් තිබේ.

ලංකාවේ ශීත නොවන විවිධ දේශගුණික කලාපයන්හි හොඳින් වැවෙන ශාකයකි තෝර. තෝර ගණනාවක් දක්නට හැකිය. පෙති තෝර (Cassia tora), ඇත්තෝර (Cassia alata), පැණි තෝර (Cassia occidentalis), බූ තෝර (Cassia absus), හා ඌරු තෝර (Cassia sophera) ආදී ලෙසිනි. අප ජනතාව ඇත් තෝර, පෙති තෝර, පැණි තෝර වැනි ප්‍රභේද ඖෂධ පිණිස මෙන්ම ආහාර පිණිසද ප්‍රයෝජනයට ගැනීමට පුරුදුව සිටියහ. නමුත් වර්තමානය වනවිට මෙම ශාකමය ආහාර භාවිතයෙන් ඈත් වී තිබේ. නමුත් තෝර විවිධ ගුණයන්ගෙන් යුක්ත ‍පෝෂණීය අගයෙන් වැඩි ආහාර බව නම් කිව යුතුය.

එසේම තෝර අහර කොට ගැනීමෙන් ලෙඩරෝග ගණනාවකින් මිදිය හැකි වනවා මෙන්ම තෝර ඇතැම් රෝග සුවපත් කරගැනීමේ ඖෂධයක්ද වන බව කිව යුතුය.

බොහෝදෙනා දන්නේ පෙති තෝර ගැනය. ඒවා අද ද කොළ පලා විකුණන ස්ථානවල දක්නට ලැබේ. එහි ‍පෝෂණීය අගය නම් ඉතා ඉහළය. පෙති තෝර ඖෂධ පිණිස මෙන්ම ආහාර පිණිස ගැනීම බොහෝ ඈත කාලයක පටන් ජනතාව අතර පැවැති පුරුද්දකි. ඊට කුඩා දරුවාගේ සිට මහල්ලා දක්වා අයගේ ආහාර ජීර්ණ පද්ධතියේ මෙන්ම ශ්වසන පද්ධතියේ රෝග සුවපත් කරන ගුණයක් තිබේ. පෙති තෝර ආහාරයට ගැනීමෙන් ශරීරයේ ප්‍රතිශක්තිය වර්ධනය වෙයි. එනිසා රෝගවලට ඔරොත්තු දීමේ හැකියාව වැඩිවෙයි. එබැවින් නොයෙක් බෝවන රෝග මෙන්ම වෛරස් රෝගවලින් මිදෙනු පිණිස පෙති තෝර ඉතා කදිමය.

පෙති තෝර කොළ තම්බා බිමෙන් ඇදුම මෙන්ම කල්ගත වූ කැස්ස සුවපත් කරගත හැකිය. විශේෂයෙන් සෙම නිසා හටගන්නා උණෙන් සුවය ලැබිමට එය ඉතා හොඳ ඖෂධයකි. පෙති තෝර දියවැඩියා රෝගීන්ටද ඉතාමත් යහපත්ය. එය ශරීර ශක්තිය වර්ධනය කරයි. කුඩා ළමයින්ගේ මෙන්ම වැඩිහිටියන්ගේ ආහාර අරුචියට මහඟු පිළියමකි. විශේෂයෙන් අක්මාව ආශ්‍රිතව පැන නැගෙන රෝගවලදී ඉතාමත් හොඳ ඖෂධයකි.

විෂ වර්ග හේතුවෙන් අක්මාව දුර්වල වීම වළකාලන අතර සිරෝසිස් නමැති අක්මා රෝගයටද ඉතාමත් යහපත්ය. තවද බාල, මහලු කොයි කාටත් වැලඳෙන කිරිපණු රෝගයටද ඉතා ගුණ ආහාරයකි. අපේ මුතුන් මිත්තන් කිරිපණු රෝගය මැඬපැවැත්වූයේ තෝර යෙදූ ආහාරවලිනි. පෙති තෝර ආහාරයට ගැනීමෙන් හෘදය ආශ්‍රිත හටගැනෙන රෝග අවම කිරීමට හැකියාව ඇත. එය හෘදය ශක්තිමත් කරයි. රුධිරය පිරිසිදු කරයි.

මලබද්ධය නැති කරයි. අර්ශස් රෝගීන්ට ඉතාමත් ගුණදායකයි. සම පැහැපත් කරයි. තරුණකම රැකදෙයි. කුඩා දරුවන්ගේ දන්තෝද්භව කාලයේ හටගන්නා උණට ඉතාමත් හොඳ ඖෂධයකි.

තවද විවිධ සන්ධි රෝග, ස්නායුගත ආබාධ ඇතිවූ විට වේදනාව අඩු කිරීම සඳහා පෙති තෝර අඹරා ආ‍ලේප කරනු ලැබේ. මෙහි ඇති තවත් සුවිශේෂ ගුණයක් වනුයේ ශරීරයේ අනවශ්‍ය මේද දහනය කිරීමේ හැකියාවයි. තරබාරුව මට්ටු කිරීම සඳහාද ඉතා හොඳ ආහාරයකි. කෙසේ වෙතත් රෝග අවස්ථාවලදී පෙති තෝර කොළ තම්බා බිමද කලවම් ලෙස කොළකැඳට එකතු කිරීමද හොඳය. අප ජනතාව එය මැල්ලුමට, කලවම් පලාවට මෙන්ම කොස් ඇට ආදිය තැම්බිමේදී කලවමට දැමීමටද අමතක නොකළහ.

තෝර පවුලට අයත් තවත් විශේෂයක් වනුයේ පැණි තෝරයි. එයද ලංකාවේ බොහෝ ප්‍රදේශවල ස්වභාවිකව වැවෙන්නකි. පැණි තෝර විශේෂයෙන් ගුණදෙනුයේ රක්ත හීනතාවටය. රුධිරයේ හිමොග්ලොබින් අඩු අයට ඉතාමත් යහපත් ආහාරයකි. දියවැඩියා රෝගීන්ට ආහාරයක් ලෙස සුදුසුය. කොළ තම්බා පානය කිරීමෙන් රුධිරයේ සීනි මට්ටම අඩු කරගත හැකිය. එසේම ගුද මාර්ගයේ ඇතිවන රෝගද, අර්ශස්, මලබද්ධය වැනි රෝගද සමනය කරයි. දත්මුල් දියවීම, දත් කැක්කුම වැනි මුඛ රෝග ඇතිවූ විට කොළ සහ මුල් තම්බා මුඛය සෝදනු ලැබේ.

පැණි තෝර කොළවලට මානසික ආතතිය අඩුකිරීමේ හැකියාව ඇත. මෙහි ඇති තවත් සුවිශේෂ ගුණයක් වනුයේ පෙණහලු ආශ්‍රිතව හටගන්නා බොහෝ රෝග සුවපත් කිරීමට ඇති හැකියාවයි. විශේෂයෙන් කක්කල් කැස්ස මෙන්ම පෙණහලුගත රෝග ඇතිවිට පැණි තෝර කොළ තම්බා මීපැණි සමග පානය කිරීමෙන් යහපත් ප්‍රතිඵල අත්කරගත හැකිය. විටින් විට පැතිර යන වෛරස් රෝගවලින් මිදීමට මෙන්ම ඒවායින් ඇතිවන උපද්‍රව අවම කරගැනීමට පැණි තෝර ඉතාමත් වැදගත්ය. පැණි තෝර කොළ වියළා කුඩුකර තේ මෙන් පානය කළ හැකිය.

පැණි තෝර කොළ අඹරා ගෑමෙන් කුරුලෑ සුවපත් කරගත හැකිය. එහි ඇති සුවිශේෂ ගුණයක් වනුයේ රුධිරය පිරිසිදු කර සම පැහැපත් කිරීමට මෙන්ම චර්ම රෝග සුවපත් කිරීමට ඇති හැකියාවයි.

තෙත් දියසීරාව ඇති බොහෝ ස්ථානවල සෑදෙන තවත් තෝර විශේෂයකි ඇත් තෝර. බොහෝවිට අප ඇත් තෝර යොදාගනුයේ චර්ම රෝග සුවපත් කරගැනීමට ආ‍ලේප වශයෙන් පමණයි. නමුත් අපගේ ජනතාව මෙය ආහාරයට එක්කර ගැනීමට පුරුදුව සිටින්නේ මෘදු විරේකයක් සඳහාය. අපගේ මුතුන් මිත්තන් පණු රෝග මර්දනය සඳහා මෙන්ම රුධිරය පිරිසිදු කරගැනීම සඳහා විරේක කිරීමට පුරුදු වී සිටියහ. ඒ නිසාම ඔවුන්ට මලබද්ධය, අර්ශස් වැනි රෝග මෙන්ම ආන්ත්‍රික පිළිකා වැනි රෝගවලින්ද මිදීමට හැකියාව ලැබිණ. ඔවුහු මෘදු විරේකය සඳහා විවිධ උපක්‍රම භාවිත කළහ. එහිදී ඇත්තෝර දලුද සුවිශේෂ විය. ඇත්තෝර දලු ‍පොල් සුනුත් සමග මළවා ආහාරයට ගැනීමට ඔවුන්ගේ පුරුද්දක් විය. නමුත් මෙය අධි මාත්‍රාවෙන් ගැනීමෙන් උදර ශූලය හෙවත් බඩේ කැක්කුම ඇතිවීමට ඉඩකඩ වැඩිය. ස්වල්ප මාත්‍රාවක් ගැනීම විරේකයක් මෙන්ම කිරිපණු රෝගයටද විසඳුමක් විය. එසේම අපගේ ජනතාව එය කලවම් පලාවට එකතු කරගැනීමටද පුරුදුව සිටියහ. අධි රුධිර පීඩනය ඇති අයටද කලවම් පලාවට ඇත් තෝර දලු කිහිපයක් එකතු කර ගැනීම ඉතා හොඳය. අධ්‍යාතතියද දුරු කිරීමේ හැකියාවද ඊට ඇත. නමුත් ඇත් තෝරවලට ඇති සුවිශේෂ ගුණයක් වනුයේ චර්ම රෝග අවසන් කිරීමේ හැකියාවයි. චර්ම රෝග හටගත් විට ඇත් තෝර දියරෙන් සේදීමෙන් මෙන්ම අළුහම් හැදුණු විට ඇත් තෝර දෙහි ඇඹුල් මිශ්‍රකර අඹරා අළුහම් ඇති ස්ථානවල ගා වේළෙන්නට හැර සෝදා හැරීමෙන් සුවකරගත හැකිය. ශරීරය විවිධ ආසාදනයන්ගෙන් ආරක්ෂා කරගැනීමටද ඇත් තෝර හොඳ ප්‍රතිකාරයකි.

පැණි තෝර සහ පෙති තෝර ආහාරයට ගැනීමෙන් අන්ත්‍ර ආශ්‍රිතව හටගන්නා රෝගවලින්, පෙණහලු රෝග, රුධිරගත රෝගවලින්, දියවැඩියාව, අධි රුධිර පීඩනය, හෘද රෝග වැනි බොහෝ රෝගවලින් ආරක්ෂා වීමට පුළුවන. එබඳු රෝග තත්ත්වයන්ගෙන් මිදීමට ඖෂධ පසුපස හඹායනවාට වඩා මෙවැනි ආහාර ගැනීමට හුරුවීමෙන් නිරෝගී සැප වඩ වඩාත් ළංකරගත හැකිය.

කථිකාචාර්ය වෛද්‍ය පාලිත ශ්‍රී ගීගනආරච්චිගේ