සරත් කුමාර ගුණරත්න 9 තෙක් රිමාන්ඩ්

අත්අඩංගුවට ගනු ලැබූ හිටපු ධීවර නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න මහතා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ජනවාරි 09 වන දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

අද(02)පෙරවරුවේ අත්අඩංගුවට ගනු ලැබූ ගුණරත්න මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් බණ්ඩාර හමුවට ඉදිරිපත් කරනු ලදුව මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.


මීගමුව කළපු සංවර්ධනයට වෙන් කළ මුදල් මිලියන 12ක් අවභාවිතා කළ බවට හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයාට චෝදනා එල්ලවී ඇති අතර මෙම සිද්ධියට අදාළව ගුණරත්න මහතා ඇතුළු පස් දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙස මීට පෙරාතුව අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර තිබිණි.

තම සේවාදායකයාගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහී ඇති බැවින් ඔහුට ඇප ලබාදෙන ලෙස සැකකාර ගුණරත්න මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් අධිකරණයෙන් ඉල්ලා සිටි යේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් බණ්ඩාර මහතා කියා සිටියේ සැකකරුට ඇප ලබාදීමට සාධාරණ කරුණු ඇත්දැයි විමසා මීළඟ නඩු දිනය වන 09 දා ඒ සම්බන්ධයෙන් සලකා බැලිය හැකි බවයි.