වකුගඩු සුරකින තිබ්බටුවල විස්මිත ගුණ


වර්තමානයේ බෝවෙන සහ බෝ නොවන රෝගවලින් අප සමාජය වෙළාගත් මොහොතක ඒවායින් මිදීමට විවිධ උපක්‍රමයන් සෙවීමට අප නිරන්තරයෙන් වෙහෙස වෙමු. නමුත් අපගේ මුතුන් මිත්තන් එවැනි රෝගවලින් ආරක්ෂා වීම සඳහා ගත් උපක්‍රමයන් පිළිබඳව අධ්‍යයනය කිරීම තවමත් සිදුවනුයේ ඉතාමත් අල්ප වශයෙනි.

අප සෞඛ්‍ය සේවය දියුණු කරනවා යැයි පවසමින් රෝගී වූ ජනතාවට අවැසි රෝහල් ආදී පහසුකම් කොතෙකුත් පුළුල් කළද දිනෙන් දින විවිධ රෝග තත්ත්වයන් වැඩිවනවා මිස අඩුවීමක් දක්නට නැත. එබැවින් රාජ්‍ය හෝ පෞද්ගලික සෞඛ්‍ය සේවාවන් තුළ නිරන්තරයෙන් ‍පෝලිමේ සිටින රෝගීන් දැකිය හැකිය.

රටේ ජනතාවගේ සෞඛ්‍ය පහසුකම් වැඩි දියුණු කිරීම යනු රෝගී අපට ප්‍රතිකාර කිරීම පමණක් නොව රටේ ජනතාව රෝගවලින් ඈත්කර නිරෝගීව තබා ගැනීමයි. රටේ ජනතාවගෙන් බහුතරයක් දියවැඩියාව, හෘද රෝග, පිළිකා, ස්වසන රෝග, රුධිර ගත මේදය, අධි රුධිර පීඩනය, වකුගඩු රෝග ආදී රෝගවලට නිරන්තරයෙන් ගොදුරු වේ නම් මෙය වැළැක්වීම සඳහා කුමන හෝ ක්‍රියාමාර්ගයක් තිබිය යුතුය. එසේත් නොමැති නම් ඒ පිළිබඳව සොයා බැලිය යුතු වේ.
මෙම රෝග වැලඳීමට හේතු කාරක වන කෘෂි රසායන යෙදූ ආහාර හෝ වෙනත් රසකාරකයන් මුසුකොට තැනූ ආහාර වේවා එසේත් නැතිනම් වෙනත් භෞතික හේතු කාරකවලින් ජනතාව මුදවා ගන්නවා සේම ඔවුන්ව මෙම රෝගවලින් ආරක්ෂා කර ගැනීමට ඇති ආහාර පිළිබඳව දැනුවත් කිරීම අනිවාර්යයෙන් කළ යුතු වේ.

අප වෙළෙඳ‍පොළට ගියවිට ආහාර සඳහා ඇත්තේ එකාකාරී එළවළු පලතුරු කිහිපයකි. මෙම සීමිත එළවළු වර්ග කිහිපය චක්‍රයක් සේ දිනපතා අපගේ කුස පුරවන්නේය. නමුත් මෙම ඒකාකාරී එළවඵ රටාවෙන් මිදී අප මහ ‍පොළොවේ වැවෙන තවත් බොහෝ එළවළු වර්ග, පලා වර්ග දක්නට ඇත. මෙම එළවළු වර්ගවල ගුණ ගැන සොයා බැලුවහොත් නිරන්තරයෙන් මෙවැනි ස්වභාවික ආහාර ගන්නා අපට රෝහල්වල ‍පෝලිමේ සිටින්නට නම් අවශ්‍යතාවයක් ඇතිවන්නේ නැත. මන්ද යත් එම ආහාර නිසා අපට වැලඳීමට ඇති බොහෝ රෝගයන්වලින් අපව ආරක්ෂා කිරීම හේතුවෙනි.

අප රෝගවලින් ආරක්ෂා කරන ආහාර අතර බටු කුලයේ ආහාර ඉතාමත් වැදගත් වේ. අප රටතුළ බටු වර්ග රාශියක් ඇත. තිත්ත තිබ්බටු, වැල් තිබ්බටු, තිබ්බටු, එළබටු, වගා බටු, වම්බටු ආදී ලෙස වේ. එළබටු, වගාබටු, වම්බටු ආදිය වර්ණීය හැඩය, ප්‍රමාණය අනුව විවිධ ප්‍රභේද ඇත. නමුත් අප නිරන්තරයෙන් පුරුදු වී ඇත්තේ වගා බටු සහ වම්බටු ආහාරයට ගැනීමය. මෙම බටු වර්ගවල ශරීරයට අවශ්‍ය බොහෝ ‍පෝෂ්‍ය කොටස් වන විටමින්, ඛනිජ ලවනයන්ද අන්තර් ගත වේ. තවද නිර්මාංශ අයට බටු ඉතාමත් වැදගත් වේ. ඒ තමන්ගේ ෙදෙනික ආහාර වේ‍ලේ තිබිය යුතු බොහෝ ‍පෝෂ්‍ය කොටස් මෙහි අන්තර් ගත වන බැවිනි. උදාහරණයක් ලෙස බිත්තර ආහාරයට නොගන්නා අයට වම්බටුවලින් එම ‍පෝෂ්‍ය ගුණය ලබා ගත හැකි බව පැරැන්නෝ දැන සිටියහ. ඒ ආකාරයෙන් අප ගන්නා සත්ත්ව ආහාරවලට ආදේශකයක් ලෙසද මෙවැනි බොහෝ ආහාර යොදා ගත හැකි වේ. බටු තිබ්බොටු පිළිබඳව එදා ජන කවියේද සඳහන් වී තිබුණේ මෙසේය.

අලා පලා බටු තිබ්බටු කාපල්ලා
වේලක් හැර වේලක් කැඳ බිපල්ලා

මෙයින් කියවෙන්නේ මෙවැනි ආහාර අපගේ ෙදෙනික ආහාර රටාවට ගත යුතු බව ජන කවියා පරම්පරාවෙන් පරම්පරාවට දැනුම් දුන් අයුරුය.

ලංකාවේ බටු පවුලටම අයත් බටු වර්ග අතර තිබ්බටුවලට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. අප ආහාරයට ගන්නා තිබ්බටු අතර තිත්ත තිබ්බටු හා තිබ්බටු ‍පෝෂණීය අගයෙන් ඉතාමත් ඉහළය. ඒ නමුත් මේ දෙක අතරින් තිත්ත තිබ්බටු ‍පෝෂණීය හා ඖෂධීය ගුණයෙන් ඉතාමත් ඉහළ බව කිව යුතු වේ. තිත්ත තිබ්බටු solanum Indicum ඉතා කුඩා මෙන්ම ඉදුනු පසු දම් පැහැයට හුරු විශේෂයකි. මෙය තෙලෙන් බැද ආහාරයට ගැනීමට අපගේ ගැමියෝ පුරුදුව සිටියහ. ‍පෝෂණීය වශයෙන් මෙන්ම ඖෂධීය අගයෙන් යුක්ත මෙම බටු විශේෂය අද දක්නට ඇත්තේ ඉතාමත් කලාතුරකිනි. ස්වසන රෝග, දියවැඩියාව, හෘද රෝග වැනි රෝග රාශියකට ගුණ දෙන තිත්ත තිබ්බටු හැම ගෙදරකම වවාගත හැකි කුඩා ශාකයක්ද වේ.

වර්තමානයේදී අපට බහුලව දැකිය හැක්කේ කොළ පාටට හුරු තිබ්බටු විශේෂයයි. නමුත් මෙම තිබ්බටු ආහාරයට ගැනෙන්නේ කීයෙන් කීදෙනාහටද යන්න පිළිබඳ ගැටලුවකි. එයට හේතුව මෙහි ‍පෝෂණීය අගය පිළිබඳ ඇති අනවබෝධයයි. අනාදිමත් කාලයක සිට තිබ්බටු අප ආහාරයට ගෙන තිබුණත් මෙය ලංකාවට ආවේණික ආහාර විශේෂයක් යැයි කිව නොහැක.

solanamtorvum යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන තිබ්බටු ලංකාවේ ඇතැම් ප්‍රදේශවල වශීකර්මය සඳහාද යොදාගෙන තිබේ. ජනප්‍රවාදයේ සඳහන් වෙන ආකාරයට කෙනෙකු වශීකරගැනීම සඳහා භාවිතා කර ඇත්තේ තිබ්බටු මැල්ලුමයි. එහි රසවත් කම මෙම කතාවලින්ම මනාව පැහැදිලි වේ.

තිබ්බටු අප ශරීරයේ ඇති බොහෝ රෝගවලට ප්‍රතිකාරයක් මෙන්ම ශරීරය වර්ධනය කරන ‍පෝෂණීය ආහාරයක්ද වෙයි. අපගේ ශරීරයට අවශ්‍ය බොහෝ විටමින්, ඛනිජ, ලවන, අවශ්‍යතාවය සඳහා කිරිපිටි මිත්‍යාවට හසු වූ බොහෝ අයට මෙය මහඟු ආහාරයක් ද වේ. එසේම කිරිපිටි සඳහා හොඳම ස්වභාවික ආදේශකයක් ලෙසද තිබ්බටු හැඳින්විය හැකිය. තිබ්බටුවල කැල්සියම්, ‍පොටෑසියම්, යකඩ, විටමින් වර්ග විශේෂයන්ගෙන් විටමින් බි 6 බි 3 ආදිය මෙන්ම අනෙකුත් ශරීරයට අවශ්‍ය ක්ෂුද්‍ර ඛනිජයන්ද අන්තර් ගතව ඇත.

තිබ්බටු විශේෂයෙන් ක්‍රියා කරනුයේ අපගේ ස්වසන පද්ධතිය ආශ්‍රිතවයි. ඇදුම, පීනස, ආදී රෝගවලදී මෙන්ම එම රෝග වැලඳීම අවම කර ගැනීමට තිබ්බටුවලට හැකියාව ඇත. විශේෂයෙන් පෙණහළු ආශ්‍රිතව ඇතිවන පිළිකා තත්ත්වයන් අවම කිරීමට තිබ්බටුවලට හැකියාව ඇතැයි නූතන පර්යේෂකයෝද පවසති.

හෘද රෝග අවදානමෙන් මිදීමටද තිබ්බටු ආහාරයට ගැනීමේ හැකියාව ඇත. හෘදය ශක්තිමත් කිරීම මෙන්ම හෘදය රුධිරය සපයන ධමනි ශක්තිමත් කිරීම මෙන්ම ඒවායේ අවරෝධතා ඉවත් කිරීමටද තිබ්බටුවලට හැකියාව ඇත. එම නිසා හෘදයාබාධ වැළැක්වීමට තිබ්බටු මහඟු දිව ඔසුවක් වේ.
තවද රුධිර නාළවල ‍ලේ කැටි ගැසීම අවම කිරීමට තිබ්බටු යොදා ගත හැකි වේ. එම නිසා අංශභාගය හෙවත් ආඝාත රෝග තත්ත්වයෙන් මිදීමට ඉතාමත් වැදගත් ආහාරයක් වේ.

මෙහි ඇති තවත් සුවිශේෂී ගුණයක් වනුයේ ආමාශයේ ඇති ආම්ලික ස්වභාවය අවම කිරීමයි. වර්තමානයේ අමිල පිත්ත රෝගයෙන් පෙළෙන බොහෝ දෙනෙකුට තිබ්බටු ආහාරයට ගැනීම දිව ඔසුවක් වැනිය. තවද අපගේ ආහාර මාර්ගයේ ජීවත්වන අහිතකර පණුවන් ඇතුළු වෙනත් ජීවීන්ද මර්දනය කිරීමට තිබ්බටුවලට හැකියාව ඇත. මළ බද්ධය දුරුකර ආහාර ජීර්ණය හොඳින් සිදුකිරීමට මඟ පාදයි. තවද අප ගන්නා ආහාර ජීර්ණයට පහසු කිරීමද තිබ්බටුවලින් කෙරෙන තවත් කාර්යයකි.

හිසේ ඇතිවන රෝග නිවාරණයටද ඉතාමත් යෝග්‍ය ආහාරයක් වන තිබ්බටු නිරන්තරයෙන් අධික හිසරදය වැලඳෙන අයට දිය හැකි ආහාරයක්ද වේ. මොළයේ ක්‍රියාකාරිත්වය දියුණු කර මතක ශක්තිය වැඩි කිරීමටද හැකියාව ඇත. විශේෂයෙන් රාත්‍රී අන්ධකාරතාවයෙන් පෙළෙන අය මෙන්ම අක්ෂි රෝගවලින් පෙළෙන අයටද ඉතාමත් ගුණදායක වේ.
අතීතයේදී මෙවැනි රෝග ඇති අයට දේශීය වෛද්‍යවරුන් තිබ්බටු කායම සාදා දෙනු ලැබිය. බොහෝවිට ඒ සඳහා යොදා ගැනුනේ තිත්ත තිබ්බටු වේ. විශේෂයෙන්ම ඇස් පෙනීම දුර්වල අයට මෙන්ම අමිල පිත්ත, අක්මා රෝග ඇති අයටද මෙම ඖෂධය දෙන ලදී. තවද දත් හිරිවැටීම හා වෙනත් දන්ත රෝගවලට තිබ්බටු ගෙඩි පුළුස්සා ඒ ආශ්‍රිතව ගෑමෙන් අවම කරගැනීමේ අත්බෙහෙත් අප ජනතාව අතර පැවතිණ. ඊට අමතරව හිසෙහි උඳුගොව්වා කන රෝග තත්ත්වයේදී ඉදුනු තිබ්බටු ගෙඩි පුළුස්සා තලතෙලින් අනා ගෑමද සිදුකරනු ලැබිය.

තිබ්බටු යනු ශරීරයේ ඇතිවන වේදනාව අවම කිරීමටද මහඟු ප්‍රතිකාරයකි. විශේෂයෙන් සන්ධි ඉදිමීමේ රෝගය, තුනටියේ වේදනාව, ඉදිමුම, ආදී රෝග ඇති අයට ඇඟිලි හිරිවැටීම මෙන්ම වාත රක්ත රෝගීන්ටද මහඟු ඖෂධයක් වේ. තවද උෂ්ණාධික ශරීර ඇති අයට ශරීරයේ උෂ්ණය අඩු කිරීමටද ඉතාමත් යෝග්‍ය ශරිර දාහය හෙවත් දැවිල්ල නැති කර රාත්‍රියට සුව නින්දක් ලබා ගැනීමේ හැකියාව ඇත.

තවද කාන්තාවන්ගේ මෙන්ම පුරුෂයින්ගේ ඇතිවන විවිධ රෝගයන් සඳහාද තිබ්බටු ඉතාම ගුණදායක වේ. ආර්ථව චක්‍රය අක්‍රමවත් කාන්තාවන් හට එය ක්‍රමවත් කර ගැනීම සඳහා මහඟු ආහාරයක් වේ. තවද විවිධ දෝෂ ඇති අවස්ථාවන්හිදී මෙය ඖෂධයක් ලෙස භාවිතා කරයි. රක්ත හීනතාවයෙන් පෙළෙන අයට ඉතාමත් ගුණදායක වේ. අධික ආර්ථවයේදී අධික ලෙස රුධිරය පිට වී ශරීරය දුර්වල වන කාන්තාවන්ට එම තත්ත්වයන්ගෙන් මිදීමට මහඟු ආහාරයකි. තිබ්බටු යනු රතු රුධිරානු නිපදවීමට සහය දෙන ආහාර විශේෂයක් වේ.

අද අප ගන්නා විවිධ ආහාර හා රසායනිකයන් හේතුවෙන් බොහෝ දෙනෙකුට වකුගඩු ආශ්‍රිත රෝග වැලඳීමේ අවදානම වැඩි වී තිබේ. නමුත් තිබ්බටු ආහාරයට ගැනීමෙන් එම තත්ත්වය අවම කර ගැනීමට හැකියාව ඇත. විශේෂයෙන් මුත්‍රා පෙරීම ශක්තිමත් කිරීම මෙන්ම වකුගඩුවල ක්‍රියාකාරිත්වය යහපත් කිරීමටද තිබ්බටු ආහාරයට ගැනීමෙන් සිදුකර ගත හැකිය. විශේෂයෙන් මියයන වෘක්කානු ආදිය නැවත ශක්තිමත් කිරීමටද මෙම ආහාරය ගැනීමෙන් සිදුවේ.

පුරුෂයන්ගේ ලිංගික ශක්තිය වර්ධනය කර ගැනීමට වර්තමානයේ විවිධ ඖෂධ මෙන්ම ආ‍ලේපනවලට රැවටීමට ලක්වන අවස්ථා බොහෝ වෙයි. නමුත් තිබ්බටු ආහාරයට ගන්නා අයට එසේ විවිධ රැවටීම් පිටුපස හඹා යාමට වුවමනාවක් නොමැත. තවද අතුරු ආබාධ ඇතිවන්නේද නැත. අධි මාත්‍රාවෙන් ගතහොත් මිය යන්නේද නැත. නමුත් ලිංගික අප්‍රාණිකත්වයට මෙන්ම ලිංගික ශක්තිය වැඩි කර ගැනීමට මහඟු ඖෂධයක් ලෙස තිබ්බටු භාවිතා කළ හැකි වේ.

අක්මාවේ සහ ප්ලීහාවේ ඇතිවන දෝෂ තත්ත්වයන් සමනයටද තිබ්බටු භාවිතා කළ හැකිය. විශේෂයෙන් අක්මාව දුර්වල අයට තිබ්බටු ලබාදීමෙන් අක්මාව ශක්තිමත් කර ගත හැකි වේ. ශරීර ශක්තිය ඇති කරන තිබ්බටු ශරීරයට අනවශ්‍ය විෂ බිජ බැක්ටීරියා වෛරස් ආසාදනවලින් ශරීරය ආරක්ෂා කර දෙයි. එම නිසා වර්තමානයේ වෛරස් බැක්ටීරියා හේතුවෙන් බෝවන විවිධ රෝගවලින් වැළකීම සඳහා මහඟු ආහාරයක් ද වේ. තිබ්බටුවල විශේෂයෙන්ම ගුණය වනුයේ අප ශරීරය පිළිකා අවදානමෙන් ගලවා ගැනීමයි.

මීට අමතරව තිබ්බටුවල කොළ, ගෙඩි, මුල් ආහාර හා ඖෂධ පිණිස විවිධ අයුරින් යොදා ගැනීමට පුරුදුව සිටිති. තිබ්බටු ගෙඩි රසවත් ව්‍යංජනයක්, මැල්ලුමක් මෙන්ම බැදුමක් ලෙසද ආහාරයට එක් කර ගත හැකි අතර තිබ්බටු ගෙඩි වියළා කුඩුකර පානයක් ලෙස සේම සහ උණ, සෙම්ප්‍රතිශ්‍යාව වැනි අවස්ථාවන්වලදී භාවිතා කළ හැකි වේ.

දියවැඩියා රෝගීන්ට තිබ්බටු කොළවලින් පානයක් සාදා ගත හැකිය. තිබ්බටු කොළ වියළා කුඩුකර තේ මෙන් දිනකට එක්වරක් පානය කිරීමෙන් රුධිරයේ සීනි මට්ටම අඩුකර ගත හැකි වේ. තවද මේ සඳහා තිත්ත තිබ්බටු කොළ භාවිතා කළ හැකි නම් වඩාත් ප්‍රතිඵල ලබාගත හැකිය.

රෝගීන් සඳහා සුප් වැනි ආහාර සැකසීමේදී තිබ්බටු ගෙඩි කිහිපයක් එකතු කර ගැනීමෙන් එහි ගුණ වඩාත් වැඩිකර ගත හැකි වේ. විශේෂයෙන් උණ රෝගීන්ටද මෙවැනි ආහාර වඩාත් යෝග්‍ය වේ. සෙම් සහිත අවස්ථාවලදී තිබ්බටු මුල් තම්බා බිමද බොහෝ ප්‍රදේශවල ජනතාවගේ අත්බෙහෙතකි. තිබ්බටු යනු අප කොයි කාටත් ගුණ දෙන ආහාරයක් බව අමුතුවෙන් කිව යුතු නොවේ.

දියවැඩියාව, අධි රුධිර පීඩනය, පිළිකා, හෘදරෝග, අර්ශස් ආදී රෝගවල සිට බොහෝ රෝගවලින් අප මුදවා ගැනීමට මෙම තිබ්බටුවලට හැකියාව ඇත. එම නිසා මෙම රෝගවලින් ඈත්වීමට මෙන්ම ම රෝග ඇති අයට සුවයක් ලබා ගැනීමට තිබ්බටු ආහාරයට ගැනීම ඉතා වැදගත් වේ. වෙළෙඳ‍පොළෙහි ඇති විටමින් බහුල ආහාර අතිරේකවලට වියදම් කරන මුදල් වෙනුවට මෙවැනි රසවත් ගුණවත් ආහාර සඳහා හුරුවීමෙන් අපගේ ආයු කාලයද දීර්ඝ කරගත හැකිවනවා ඇත.
දේශීය වෛද්‍ය පාලිත ශ්‍රී ගීගනආරච්චිගේ කථිකාචාර්ය / මා‍ලේවන ශ්‍රී ඥානිස්සර ආයුර්වේද වෛද්‍ය විද්‍යාලය