අඩු ආදායම් ලාභී සෑමටම සූර්යබල විදුලි උත්පාදක පද්ධති

අඩු ආදායම් ලාභී සෑම නිවසකම වහලය කුඩා විදුලි බලාගාරයක් බවට පත්කරන බව විදුලිබල හා පුණර්ජනනීය බලශක්ති ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

මේ ඔස්සේ විදුලි අවශ්‍යාතව ඉටුකරන අතරම ඔවුන්ට මාසිකව යම් මුදලක් හිමිවන ආකාරයේ වැඩපිළිවෙළක් සකස්කරන බවද ඒ මහතා කීය.

ජල විදුලිය නිපදවීම සම්බන්ධව ගැටලු ඇතිවන අවස්ථාවල විකල්ප පුණර්ජනනීය බලශක්ති වෙත යොමුවීම අත්‍යවශ්‍යය කරුණක් බවට පත්ව තිබෙන බවත් මේ යටතේ සූර්යබල විදුලි උත්පාදක පද්ධති බවට නිවෙස් වල වහළ පත්කිරීම කෙරෙහි අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබෙන බවද හෙතෙම පැවසුවේය.

ශ්‍රී දළදා මාලිගාවට හා මල්වතු අස්ගිරි මහවිහාර සඳහා සූර්ය බල විදුලි උත්පාදක පද්ධති ලබාදීමෙන් අනතුරුව මාධ්‍යය හමුවේ අදහස් දක්වමින් ඇමැතිවරයා මේබව ප්‍රකාශ කෙළේය.

ආනයන සඳහා අපි වාර්ෂිකව වැයකරන අති විශාල මුදලින් 40 % ක් වැය වන්නේ තෙල් හා ගල් අඟුරු සඳහා බවත් ඉන් හරි අඩක් විදුලි උත්පාදනය වෙනුවෙන් යොදා ගන්නා බවත් පැවසූ ඒ මහතා මෙමඟින් විදුලිය නිපදවීමේදී විශාල පරිසර හානියක් සිදුවන බැවින් සූර්යය බලයෙන් විදුලිය උත්පාදනය කිරීම කෙරෙහි යොමුවීම ඉතා වැදගත් බවද අවධාරණය කළේය.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යය එස්.බී දිසානායක මහතා සමෘද්ධි ව්‍යාපාරය යටතේ නිවාස ප්‍රතිසංස්කරණය සඳහා එක් පවුලකට රුපියල් ලක්ෂ දෙක බැගින් මාසයකට පවුල් 332 කට මුදල් ලබාදෙන බවත් ඒ යටතේ සූර්යබල විදුලි උත්පාදක පද්ධති සවිකිරීමට හැකිලෙස වහල සකස් කිරීමට උපදෙස් ලබාදී තිබෙන බවත් ප්‍රකාශ කළේය.

මෙරට විදුලි උත්පාදන ක්‍රියාවලිය සඳහා එම පවුල් දායක කර ගනිමින් මාසිකව ඒ වෙනුවෙන් ඔවුන්ට යම් මුදලක් ලබා දීමටද රජය පියවර ගන්නේ යැයි හෙතෙම කීය.

මේ අවස්ථාවට විදුලිබල හා පුණර්ජනනීය බලශක්ති නියෝජ්‍යය ඇමැති අජිත් පෙරේරා,මධ්‍යම පළාත් ප්‍රධාන ඇමැති සරත් ඒකනායක යන මහත්වරුද සහභාගී වූහ.