BBQ දුම විෂ වී 01ක් මරුට

නුවරඑළිය සංචාරක නිකේතනයක දී විෂ වායුවක් ආග්‍රහණය වීමෙන් පුද්ගලයකු මියගොස් තවත් දෙදෙනෙකු සිහිසුන් තත්ත්වයෙන් නුවරඑළිය රෝහලට ඇතුලත් කර තිබේ.

හාවාඑළිය ප්‍රදේශයේ සංචාරක නිකේතනයක නතර වී සිටි පිරිසක් අතරින් තුන්දෙනෙකු මෙලෙස අනතුරට ලක්ව ඇත.

රාත්‍රී මස් පිළිස්සීමට යොදාගත් උඳුනක් අධික ශීතල නිසා ඔවුන් නතර වී සිටි කාමරයට රැගෙන ගොස් ඇතැයි සඳහන්.

කාමරයට ගිය ඔවුන් යළිත් නොපැමිණීම හේතුවෙන් නිවාඩු නිකේතනයේ හිමිකරු සිදුකල සොයා බැලීමකදීයි එක් අයෙකු මියගොස් අනෙක් දෙදෙනා සිහිසුන්ව සිටියදී හමුවී ඇත්තේ.

මියගොස් ඇත්තේ සංචාරයට පැමිණි පිරිස රැගෙන ආ බසයේ රියදුරා වන අතර අනෙක් දෙදෙනා නුවරඑළිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබති.

මීට පෙර ද නුවරඑළිය ප්‍රදේශයේ සංචාරයක නිරත වූ යුවලක් මස් පිළිස්සු විෂ ආග්‍රහණය වීමෙන් මියගොස් තිබේ.