උද්ඝෝෂණවලට කොළඹින් ස්ථාන 2ක්

කොළඹ නගරයේ මහජනතාවට උද්ඝෝෂණ, විරෝධතා දැක්වීමට හැකි සුදුසු ස්ථාන දෙකක් තෝරා ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කරන ලෙස නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක මහතා අමාත්‍යාංශ ‍ලේකම්වරයාට උපදෙස් ලබා දී තිබේ.

නිරන්තරයෙන් කොළඹ නගරයේ උද්ඝෝෂණ සහ පෙළපාළි පැවැත්වීමට ක්‍රියා කිරීම තුළින් රථවාහන තදබදය ඇතුළු මහජනතාවට පීඩාකාරී තත්ත්වයන් ඇති වීම අවම කිරීමේ අරමුණින් අමාත්‍යවරයා මෙම පියවර ගෙන ඇත.

‍පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ඇතුළු ‍‍‍ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පතිවරුන් සහ නියෝජ්‍ය ‍පොලිස්පතිවරුන් සමග අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ විෂය භාර අමාත්‍යවරයා අතර සිකුරාදා (13) පැවැති විශේෂ සාකච්ඡාවකදී මෙලෙස උපදෙස් ලබා දී තිබේ.

එහිදී ‍‍‍ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පතිවරුන් සිය ගැටලු සහ අදහස් දැක්වීමක් සිදුකර ඇති අතර ඔවුන් පෙන්වා දී ඇත්තේ කොළඹ කොටුව පිටකොටුව සහ පාර්ලිමේන්තුව අවට ප්‍රදේශවල මෙම ගැටලුව බහුලව උද්ගත වන බවයි.

මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් අමාත්‍ය සාගල රත්නායක මහතා අදාළ ගැසට් පත්‍රය ප්‍රකාශයට පත් කරන ලෙස උපදෙස් ලබා දී තිබේ.

මත්පැන් සහ සෙසු මත්ද්‍රව්‍ය වැරදි සඳහා දැනට පවතින අවම දඩ මුදල් ඉහළ දැමීමට නීතිපති දෙපාර්තමේන්තුව හරහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසද අමාත්‍යවරයා අමාත්‍යාංශ ‍ලේකම් ජගත් විජේවීර මහතා වෙත උපදෙස් ලබා දී ඇත.
නිමල කොඩිතුවක්කු