'නන්දිකඩාල් වීරයා සිසුවකුට තර්ජන කරලා'

'රණබිම ඔස්සේ නන්දිකඩාල්' නම් කෘතියක් ලියූ මේජර් ජෙනරාල් කමල් ගුණරත්න විසින් දෙසැම්බර් 14 වනදා සාමාන්‍ය පෙළ විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය ලියා පාසල අසල විවේකීව සිටි කොළඹ ඞී.එස්. සේනානායක විද්‍යාලයේ සිසුවකුගේ කමිසයෙන් ඇඳ පහරදීමට උත්සාහ කර තර්ජනය කර ඇතැයි 'රාවය' පුවත්පත වාර්තා කරයි.

පහර කෑමට ලක් වූ සිසුවා පුවත්පතට පවසා ඇත්තේ, මීට සති කිහිපයකට පෙර තමන්ගේ මිතුරු කණ්ඩායම සහ තවත් කණ්ඩායමක් අතර ගැටුමක් හට ගත් බවත් පසුව එම කණ්ඩායමේ සිසුවකු තමන්ට විරුද්ධව පොලීසියේ පැමිණිලි කළ බවත්ය.

එම සිසුවා කමල් ගුණරත්න මහතාගේ ඥාති පුත්‍රයකු බවත්, 14 වන බදාදා ගණිතය පළමු වන ප්‍රශ්න පත්‍රය අවසානයේදී කමල් ගුණරත්න මහතා පාසල ඉදිරියේදී තමන්ගේ පාසල් නිල ඇඳුමේ කමිසයෙන් ඇද තර්ජනය කළ බවත් එම සිසුවා පවසයි.

නිල ක්‍රියාමාර්ගයක් නැහැ :

දෙසැම්බර් 15 වනදා පාසලේ විදුහල්පතිවරයා සහ ආදි ශිෂ්‍ය සංගමයේ සාමාජිකයන් පිරිසක් අතර පැවැති රැස්වීමේදී ද මේ පිළිබඳව සාකච්ඡා කර ඇති අතර 'රාවය' සමඟ අදහස් දැක් වූ පාසලේ ආදි ශිෂ්‍යයකු පවසා ඇත්තේ, මෙම සිදුවීම සම්බන්ධයෙන් පාසල නිල වශයෙන් ක්‍රියාමාර්ගයක් නොගන්නා බවයි.

ලංකා ගුරු සංගමයේ ජොසප් ස්ටාලින් පැවසුවේ, විභාගය හෙට අවසන් වූ වහාම ලංකා ගුරු සංගමය සිසුවා සමඟ පොලීසියට සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට ගොස් පැමිණිල්ලක් කරන බවයි.

ළදරු මනසක් නැහැ !

කෙසේ වෙතත් අප කළ විමසීමකදී මේජර් ජෙනරාල් කමල් ගුණරත්න පැවසුවේ පාසල් සිසුවකුට පහර දෙන්න තරම් තමන්ට ළදරු මනසක් නොමැති බවත් තමන් පහර දුන්නා යැයි කියන සිසුවා පිළිබඳව සොයන බවත්ය.

මේ සම්බන්ධයෙන් 'ලංකා සි නිව්ස්' වෙත ප්‍රකාශයක් කර ඇති විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා, තමා සම්බන්ධයෙන් ඇතැම් වෙබ් මාධ්‍ය වල ප්‍රචාරය කරණ ප්‍රවෘත්ති අසත්‍ය හා පදනම් විරහිත බව පවසයි.

”මම කිසිදිනක දරුවකුට පහර දී නැහැ, මම යුධ හමුදාවේ සිටියදී සොල්දාදුවෙකුට හෝ පහර දී නැහැ. මට ලැබී තිබෙන තොරතුරු නිවරද නම් ඔය කියන දිනයේ මම විදේශගතවයි සිටියේ'' යයි පවසන ගුණරත්න මහතා, වැඩිදුරටත් මෙසේද කියා සිටියි.

කාටවත් පහර දුන්නේ නැහැ :

''මගේ නැණන්ඩියගේ පුතා මෙවර සාමාන්‍ය පෙළට ඔය කියන පාසලෙන් පෙනී සිටිනවා. ඔහුට පාසලේ තවත් ළමුන් පිරිසක් බලෙන් මුදල් ඉල්ලමින් පහරදී තිබෙනවා. ඔහු ගේ දෙමවුපියන් ඒ පිළිබඳව කුරුදුවත්ත පොලිසියේ පැමිණිලිකොට තිබෙනවා. ඒ හැර මම කාටවත් පහර දුන්නේ නැහැ.”

මෙම සිද්ධිය පිළිබඳව කළ විමසුමකට පිළිතුරු දුන් කුරුදුවත්ත පොලිසියේ නිලධාරියකු ප්‍රකාශ කළේ, එකම පාසලක ළමුන් අතර ගැටුමක් ගැන පැමිණිල්ලක් ලැබී ඇති නමුත් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතාට එරෙහිව කිසිදු පැමිණිල්ලක් ලැබී නොමැති බවයි.