අගමැති පුටුවේ අද රනිල් ඉන්නෙ මම නිසා

ඉකුත් ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට එක්වී සෞඛ්‍ය ඇමැති ධුරය ලබාගත් එක්සත් ජාතික පක්‍ෂයේ හිටපු මහ ලේකම්වරයකු වන තිස්ස අත්තනායක අලුතෙන් පිහිටුවාගත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට එක්වීමේ සූදානමක් තිබෙන බවට ඇතිවී ඇති කතාබහ ගැනත් තවත් දේශපාලන කාරණා පිළිබඳවත් කළ සාකච්ඡාවකි.

සිදුවෙන දේවල්වල හැටියට හිතෙන්නෙ නැද්ද එජාපයෙම හිටිය නම් හොඳයි කියල?

ඇත්තටම කිසිම පසුතැවීමක් නැහැ. මම එක්සත් ජාතික පක්‍ෂය ගොඩනඟන්න බැරෑරුම් අවස්ථාවල වැඩ කළ කෙනෙක්. ඒ වගේම මම බය නැතුව කියනව අද රනිල් වික්‍රමසිංහ මහත්තය අගමැති පුටුවෙ වාඩි වෙලා ඉන්නෙ එදා මම එතුමා ආරක්‍ෂා කර ගන්න කටයුතු කළ නිසයි. පක්ෂයේ නායකත්වයට විරුද්ධව වරින් වර ගැටුම් ඇති වුණු අවස්ථාවල මම එතුමා ආරක්ෂා නොකළා නම් එතුමාට නායකත්වයෙන් යන්න සිදු වෙනවා.

දැන් ඇතිවූ තත්ත්වය පිළිබඳ දැනෙන්නෙ කොහොමද?

තාවකාලිකව මේ වගේ පසුබෑම් ඇති වෙනවා. මේක ප්‍රශ්නයක් විදියට මම සලකන්නෙ නැහැ. මොකද මම වැරැද්දක් කරල නැහැ. මම සිරගත වුණේ දේශපාලන සිරකරුවෙක් විදියට පමණයි. අපරාධ කරලා නොවෙයි.

ඒ වුණත් ඔබ මහින්ද රාජපක්ෂට සහාය දුන්නේ මුදල් අරගෙන කියල චෝදනාවක් තිබෙනව නේද?

ඔය චෝදනාව එදා ඉඳලම තියෙනවා. පක්‍ෂ මාරු කළාම එහෙම කියනවා. රාජිත, පාඨලී, නවීන් ඇතුළු පිරිසකුත් පක්‍ෂ මාරු කළා. ඒ අයටත් එවැනි චෝදනා තිබෙනවා. ඊට පෙර කරු ජයසූරිය ඇතුළු 17 දෙනකුත් පක්‍ෂ මාරු කළා. පක්‍ෂ මාරු කරන කොට ඔය වගේ චෝදනා එනවා. ඒත් මට නඟන චෝදනාවල සත්‍යතාවක් නැහැ.

ඔබ දෙවැනි වරට සිරගත කළ චෝදනාව පළමුව සිරගත කළ චෝදනාව නොවේ කියල කියැවෙනවා. එහි සත්‍යාසත්‍යතාව කුමක්ද?

කූට ලේඛන හැදුවා කියල පළමුව චෝදනා කළා. දවස් දහයක් රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් පසුව ඇප දුන්නා. චෝදනාවට පදනමක් නැති බව එහිදී අධිකරණයේ අදහස වුණා. ඊට පසුව නීතිපති මඟින් මානව හිමිකම් හා සිවිල් අයිතිවාසිකම් පනත යටතේ ජාතීන් අතර ගැටුමක් ඇති කිරීමට කටයුතු කිරීම, පසුගිය ජනාධිපතිවරණයේදී මෛත්‍රිපාල සිරිසේන මහතාට අවාසියක් සිදු කිරීම හා කූට ලේඛනයක් බව දැන දැනම මාධ්‍යයට ප්‍රකාශ කිරීම එම චෝදනා වෙනවා. ජාතිවාදය ඇති කිරීමට උත්සාහ කළ බවට පළමුව නඩු පවරා තිබෙන්නේ මටයි. ඒක මාර්තු මාසයේ මහාධිකරණයේ විභාග කරන්න තීන්දු කරල තිබෙනවා. මම ඒකට ලෑස්තියි.

සිර ගෙදරදී ප්‍රභූන්ට විශේෂ වරප්‍රසාද ලැබෙන බව පාර්ලිමේන්තුවේදීත් ප්‍රකාශ වුණා. ඔබටත් පිළිගත් දේශපාලනඥයෙක් ලෙස වරප්‍රසාද හිමි වෙන්න ඇති?

ඒක මිථ්‍යා මතයක්. හිර ගෙදර කියන්නෙ හෝටලයක් හෝ සැපහසුවට ඉන්න රෝහලක් නොවෙයි. වෙනත් සුවිශේෂ වරප්‍රසාද තිබෙන තැනකුත් නොවේ. මිහිපිට අපායක්. අපි සැකකරුවන් වුණත් සිරගත කළේ වැරැදිකරුවන් ලෙස සලකලයි. පුද්ගලයකු වැරැදිකරුවකු කියල අධිකරණයෙන් නියෝග කරන තුරු ඔහු වරදකරුවකු ලෙස හඳුන්වන්න බැහැ. ඒත් අපි රඳවා තැබුවේ වරදකරුවන් ලෙසයි. දඬුවම්කරුවන් අතරෙම රඳවනවා. ඒක ඇත්තටම බරපතළ ප්‍රශ්නයක්. වැලිකඩ බන්ධනාගාරය තුළ සිරගෙදර රැඳවියන්ට තිබෙන තත්ත්වය සුබදායක නැහැ. එහෙම සුබදායක කියල කියන අයට සතියක් දෙකක් ඉඳල බලන්න කියල ආරාධනා කරනවා.

හිටපු ජනපති ඔබ බලන්නට පැමිණ මොනවද කිව්වෙ?

ඇත්තටම එතුමා හුඟක් කනගාටු වුණා. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා දෙවරක්ම මම බලන්න ආවා. හිටපු අගවිනිසුරුතුමා ආවා.

එජාපයට සම්බන්ධ අයත් ආවද?

ඔව්. මැති ඇමැතිවරු දහයක් පහළොවක් විතර ආවා. තවත් හුඟදෙනකුට එන්න අවශ්‍ය වුණත් එන්නට අවස්ථාව ලැබුණේ නැහැ. විශේෂයෙන් මට කළ දේ ගැන මහින්ද රාජපක්ෂ මැතිතුමා හුඟාක්ම කම්පා වෙලා සිටියා.

එජාප මැති ඇමැතිවරු මොනවද කිව්වෙ?

ඒ ගොල්ලො කනගාටුව දුක ප්‍රකාශ කළා. බරපතළ විරෝධයක්, අප්‍රසාදයක් පළ කළා. මම දේශපාලන සිරකරුවෙක් කියලත් කිව්වා. ඒත් ඒ අය ඒක ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන්න භයයි. මම දේශපාලන සිරකරුවෙක් කියල මහින්ද රාජපක්ෂ මහතා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළා.

සිරගෙදරින් පැමිණි පසුව මහින්ද රාජපක්‍ෂ කතා කළාද?

මම එතුමාට කතා කරල මම බලන්න පැමිණීම ගැන ස්තුති කළා. බලන්න පැමිණි සියලු දෙනාටම මේ දවස්වල දුරකතනයෙන් කතා කරමින් ඉන්නවා. ඒක මගේ යුතුකමක්.

දුමින්ද සිල්වා හමුවුණාද?

ඔහු අසනීපයෙන් ඉන්නවා. ඒ නිසාම බන්ධනාගාර රෝහලට මාරු කරලා තිබුණා. මං ඉන්න ශාලාවේ 60 - 65 දෙනෙක් දමලා ලොත් කරල තිබුණා. දුමින්ද සිල්වා ගැන මම වෛද්‍යවරයකු නොවන නිසා විග්‍රහයක් කරන්න බැහැ. නමුත් තදබල මානසික පීඩනයකින් සිටිනවා.

ඔහු සමඟ කතා කළාද?

ඔව් කිහිප වරක් කතා කළා. ඔහු සාමාන්‍ය පුද්ගලයකු කතා කරන ආකාරයේ කල්පනාවක සිටියේ නැහැ. ඒකට හේතුව දුමින්ද සිල්වාට ප්‍රතිකාර කළ වෛද්‍යවරයාට මාස හයෙන් හයට පෙන්වන්න ඕන. හැබැයි බන්ධනාගාර ගත කිරීම නිසා ඒක සිදු වන්නේ නැහැ.

ඔබ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ තනතුරක් ගන්න සූදානමින් සිටිනවාද?

ඇත්තටම එහෙම දෙයක් නැහැ. දේශපාලන පක්‍ෂයකට බැඳෙන්න කැමැත්තක් දීලා නැහැ. ඒත් මම ක්‍රියාකාරි දේශපාලනයේ නිරත වෙනවා. පසුගිය අවුරුදු දෙකේ මම නිශ්ශබ්දව සිටියා. නමුත් ඉදිරියේදී ජනතාව බහුතරයක් සිටින තැන මමත් ඉන්නවා.

එජාපයෙන් ආරාධනාවක් ආවොත්?

එක්සත් ජාතික පක්ෂය සමඟ මගේ කිසිම අමනාපයක් නැහැ. විශේෂයෙන් පාක්‍ෂිකයන් ගැන විශාල ගෞරවයක් තිබෙනවා. පසුගිය ජනාධිපතිවරණයේදීවත් මම එජාපයට හෝ නායකත්වයට මොකුත් කිව්වෙ නැහැ. පක්‍ෂ අභ්‍යන්තර ගැටුමක් සමඟයි මම එළියට ආවෙ. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපතිවරයා සහ මහ ලේකම් ජනාධිපතිවරණයට ඡන්දය ඉල්ලන කොට මම සභාපතිවරයාට වැඩ කළා. එජාපය වැඩ කළේ මහ ලේකම් මෛත්‍රිපාල සිරිසේනටයි. හැබැයි එජාපය විසින් ශ්‍රී ලනිප මහ ලේකම්වරයා ජයග්‍රහණය කොට ශ්‍රී ලනිප නායකයා කළා. නමුත් ශ්‍රී ලනිප ආණ්ඩුවක් හදනව කියල ජනාධිපතිවරයා හැමදාම කියනවා. එජාපයේ අනන්‍යතාව තියාගන්න එජාප අපේක්‍ෂකයෙක් ඉදිරිපත් කළ යුතුය කියන මතයේ මම හැමදාම සිටියා. අද එජාප පාක්‍ෂිකයො අමතක වෙලා. අඩු ගානෙ මහජනතාවටත් කිසිම සෙතක් නැහැ.

තිස්ස අත්තනායකට ආණ්ඩුවෙන් තවත් චෝදනා තිබේද?

එහෙම නැහැ. නමුත් සෞඛ්‍ය ඇමැතිකමක් භාර ගැනීම ගැන අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණිලි කොට තිබුණා. මගෙන් ප්‍රකාශ ගත්තා. දැන් ඒවාට මොනව වෙලාද කියල දන්නෙ නැහැ. ලංකාවෙ පළමු වතාවට තමයි ඇමැතිකමක් භාර ගැනීම අල්ලසක් ලබා ගැනීම කියල චෝදනාවක් ආවෙ.

අය - වැය ඡන්ද විමසීම හෙට. ඒ ගැනත් ඔබට අදහසක් ඇති?

මුදල් ඇමැතිතුමා විශාල ප්‍රචාරයක් කරමින් අය - වැය යෝජනා ගෙනාවා. ඒ යෝජනාවල ජනතාවට, රටට දැනෙන යමක් නැහැ. ආයෝජන පිළිබඳ පුරෝකථනයක් නැහැ. රැකියා දීමේ වැඩපිළිවෙළක් නැහැ. මේ පෙන්වා තිබෙන්නේ ආණ්ඩුවේ නොහැකියාවයි.