පුංචි ඡන්දය කොට්‌ඨාස ක්‍රමයට මැයි මාසයේ

ඉදිරි පළාත් පාලන මැතිවරණය ලබන මැයි මාසයේදී කොට්‌ඨාස ක්‍රමය යටතේ පැවැත්වීමට කටයුතු කරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ශ්‍රීලනිප ආසන සංවිධායකවරුන් හා දිස්‌ත්‍රික්‌ සංවිධායකවරුන් හමුවේ ඊයේ (20 වැනිදා) ප්‍රකාශ කර තිබේ.

ඊට අදාළ ගැසට්‌ නිවේදනය ඉදිරි දින කිහිපය තුළ ප්‍රකාශයට පත් කරන බවත් කොළඹ පදනම් ආයතනයේදී ඊයේ පැවැති එම හමුවේදී ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත.

ඉදිරි සති දෙක ඇතුළත උතුරු නැගෙනහිර ද ඇතුළු සියලු ප්‍රදේශ ආවරණය වන පරිදි ආසන සංවිධායකවරුන් පත් කිරීමට කටයුතු කරන බවත් ශාඛා සමිති ප්‍රතිසංවිධාන කටයුතු මාර්තු 31 වැනිදා වන විට අවසන් කරන බවත් ජනාධිපතිවරයා එම හමුවේදී ප්‍රකාශ කර තිබේ.

මැතිවරණයේදී ශ්‍රීලනිපය ජයග්‍රහණය කරා ගෙන යැමේ කටයුත්ත තමන් විසින් සිදු කරන බවත් ඒ සඳහා සියලු ආසන සංවිධායකවරුන්ට සහ දිස්‌ත්‍රික්‌ සංවිධායකවරුන්ට කැප වී කටයුතු කරන මෙන් තමන් ඉල්ලා සිටින බවත් ජනාධිපතිවරයා පවසා ඇත.

ශ්‍රීලනිපය නියෝජනය කරන සංවිධායකවරුන් විශාල පිරිසක්‌ මෙම අවස්‌ථාව සඳහා සහභාගී වී ඇති අතර ඊයේ දහවල් 12 සිට පැය දෙකහමාරක පමණ කාලයක්‌ මෙම හමුව පදනම් ආයතනයේදී පැවැත්විණි.