දීපාල් හදිස්සියේම රෝගාතුර වෙයි

වැඩිහිටියන්ගේ මෙන්ම පුංචි දරුවන් අතරත් ඉමහත් ජනප්‍රියත්වයක් දිනාගත්තු ඒ ගීතය ගායනා කරන්නේ කවුද කියලා අමුතුවෙන් මතක් කරල දෙන්න අවශ්‍ය නැහැ. ගායනයෙන් වගේම රංගනයෙනුත් ජනතාව වසඟ කරගත්තු ඔහු දීපාල් සිල්වා. 

මේ වනවිට දීපාල් අසනීපවී සිටින බව පසුගිය දවසක අපට දැනගන්න ලැබුණා. ඒ ගැන වැඩි විස්තර හොයාගෙන යද්දී අපට දැනගන්න ලැබුණා, අපි ඔහු ගැන මේ සටහන තියෙන මොහොතේ දීපාල් කොළඹ ජාතික රෝහ‍ලේ 27 වැනි වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.


ලෙඩක් දුකක් හැදුනම ඒ ගැන හිත හිතා ඒ තුළම ජීවිතය කොටුකර ගත්තු අය ඉන්නවා. ඒත් දීපාල් අප ඇමතුවේ සුපුරුදු සුහදශීලී බවින්. ඉක්මනින් සුව වෙලා ආයෙමත් තමන්ගේ රසික පිරිස අතරට යන්න ඔහු ඇඟිලි ගනිනවා. සුහද කතාබහ අතරේ අපි දීපාල්ගේ රෝගී තත්ත්වය ගැන තොරතුරු විමසුවා.

“දැනට මාස කීපයකට කලින් තමයි මූලික රෝග ලක්ෂණ මතුවුණේ. මුලින්ම ඇඟ රිදෙන්නට පටන් ගත්තා. සුපුරුදු විදියට මගේ කලා කටයුතුවල යෙදුණා. ඔය අතරේ ‘සිකියුරිටි සින්නතම්බි’ නාට්‍යය කරන්න කොළඹින් බැහැරව යන්න වුණා. එදා දර්ශනය තිබුණේ අටකලම්පන්න ප්‍රදේශයේ. ඒ අතර තමයි මගේ රෝගී තත්ත්වය උත්සන්න වුණේ. වෛද්‍යවරු පර්යේෂණ කළා. මට තිබෙන්නේ අක්මාව සම්බන්ධ රෝගී තත්ත්වයක් බව දැනගත්තේ ඊට පස්සේ”

දීපාල් ලෙඩවුණා කියල දැනගත්තු මොහොතේ පටන් ඔහුගේ සුවදුක් බලන්න ආ යාළු මිත්‍රයෝ, සහෝදර කලකාකරුවෝ වගේම රසික පිරිස ආදරයෙන් සිහිපත් කරන බව ඔහු පැවැසුවා. ඒ වගේම තමා වෙනුවෙන් ඇපකැපවී කටයුතු කරන බිරිඳ, මව ඇතුළු නෑදෑයින්වත් ඔහු සිහිපත් කරන්න අමතක කළේ නැහැ.

“කලා ලෝකයේ ගොඩක් අය මට කතාකරලා සුවදුක් ඇහුවා. මම නිතරම යාළු මිත්‍රයෝ වටකරගෙන ජීවත්වුණ කෙනෙක්. ඒ හින්දා මම කැමතියි යාළුවෝ එනවානම්. ඒත් ඉතින් මේ පවතින තරගකාරී සමාජ රටාව හමුවේ හැමෝම කාර්යබහුලයිනේ. දුරකථනයෙන් හරි මට කතා කරන කෙනෙකුට 0773087776 මගේ අංකයට කතා කරන්න පුළුවනි”

දීපාල් බලාගෙන ඉන්නේ ඉක්මනින් සුවවෙලා ආයෙම ප්‍රසංග වේදිකාවට එන්න. ඒ වගේම ඔහු කළ අලුත් නිර්මාණයක් ගැනත් දීපාල් මේ වෙලාවෙ මතක් කළා.

ජීවිත වනසනා
අපි නැතිවෙන
සාක්කුවේ සල්ලි ගිලන
අද්භූත මාරයා කවුද...?

සිහිය විකල් කරල
අපිත් එක්ක හිටපු අයව
අනේ අපෙන් ඈත් කරපු
බෝත‍ලේට වහල් වෙමුද

“මත්පැන් හින්දා වටිනා ජීවිත නැතිවෙනවා. ඒ යථාර්ථය වැටහෙන්නේ මත්පැනින් ලෙඩ ඇඳට වැටුණම. ඒත් එතකොට පමා වැඩියි. මම මේ පණිවුඩය සමාජයට දෙන්න අපූරු ගීතයක් කළා. ඒකත් ජනතාව අතට පත්කරල තියෙන්නේ.

ඔළුව තදින් නරක් වෙච්ච
මිනිස්සු පිරිසක් හැදිච්ච
අරුම පුදුම රටක් තියෙනව ඕයි....
මහ මුහුදින් වට කෙරිච්ච
අඹ ගෙඩියක හැඩය වෙච්ච
ඒකට.. මරු නමක් කියනව ඕයි...
ඒ රටේ මිනිස්සු
තනිකර කෙළින්නේ පිස්සු....

ආරියවංශ කුලතිලක