මාලිංග මුම්බායි සමග - වටිනාකම කෝටි 16

ලබන 2017 වසරේ පැවැත්වෙන ඉන්දියානු ප්‍රිමියර් ලීග් ක්‍රිකට්‌ තරගාවලියේ (අයි.පී.එල්.) මුම්බායි කණ්‌ඩායම නියෝජනය කරන ලසිත් මාලිංගට ඉන්දියානු රුපියල් කෝටි 7.5 ක්‌ හෙවත් ශ්‍රී ලංකා රුපියල් කෝටි 16 කට වැඩි වටිනාකමක්‌ ලබාදීමට මුම්බායි කණ්‌ඩායමේ බළධාරීන් තීරණය කොට තිබේ.

ඉකුත් විස්‌සයි විස්‌ස ක්‍රිකට්‌ ලෝක කුසලානයේ එක්‌ තරගයක්‌ ක්‍රීඩා කිරීමෙන් පසු මෙතෙක්‌ කිසිදු තරගයක්‌ ක්‍රීඩා කිරීමට නොහැකිව ආබාධයකට ලක්‌ව සිටින ලසිත් මාලිංග දකුණු අප්‍රිකාව සමග පැවැත්වෙන විස්‌සයි විස්‌ස තරගාවලිය ක්‍රීඩා කිරීමට හැකි වෙතැයි විශ්වාසය පළ කර සිටියි. "මට දැන් සුව වෙමින් තියෙනවා. මම බලාපොරොත්තු වෙනවා ඊළඟ විස්‌සයි විස්‌ස තරගාවලියේ සිට ක්‍රීඩා කරන්න ලැබෙයි කියලා." යනුවෙන් මාලිංග සිය ආබාධය පිළිබඳව පවසයි.

කෙසේ වෙතත් 2009 වසරේ සිට අඛණ්‌ඩව අයි.පී.එල්. තරගාවලියේ මුම්බායි කණ්‌ඩායම නියෝජනය කළ ලසිත් මාලිංගව වෙන්දේසියට ඉදිරිපත් නොකර ඉන්දියානු රුපියල් කෝටි 7.5 ක මුදලකට තබා ගැනීමට මුම්බායි බළධාරීන් තීරණය කර තිබීම විශේෂත්වයකි. අයි.පි.එල්. තරග ඉතිහාසයේ වැඩිම කඩුලු ලාභියා බවට පත්ව සිටින ලසිත් මාලිංග එහිදී තරග 98 කට ක්‍රීඩා කරමින් කඩුලු 143 ක්‌ ලබා ඇති අතර එහි කඩුල්ලක්‌ ලබා ගැනීමේ සාමාන්‍ය 17.80 ක්‌ ලෙසින් සටහන් වේ.

මාලිංගට අමතරව මුම්බායි කණ්‌ඩායම නියෝජනය කරන කිරන් පොලාඩ්, ලෙන්ඩ්ල් සයිමන්ස්‌, මිචෙල් මැක්‌ලෙගන්, ජොස්‌ බට්‌ලර් සහ ටිම් සවුති යන ක්‍රීඩකයන්වද ක්‍රීඩක වෙන්දේසියට ඉදිරිපත් නොකර තබා ගැනීමට මුම්බායි බලධාරීන් තීරණය කොට තිබේ. මෙවර මුම්බායි කණ්‌ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස මහේල ජයවර්ධන කටයුතු කරනු ලබයි.